Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දඹුල්ල කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක්

දඹුල්ල කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති රාත්‍රි තරගයේදී දඹුල්ල කණ්ඩායම ලකුණු 6 ක ජයක් හිමිකර ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 218 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 211 ක් පමණි.

චරිත් අසලංකගේ දැවීයාමෙන් පසු හුදකලා සටනක නිරතවූ දසුන් ශානක ලකුණු 81 ක් රැස්කර සිටියදී ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ සධීර සමරවික්‍රම අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 46 කට මුහුණදුන් දසුන්ගේ ඉනිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර විය.

මුල් ඕවර 10 තුළ මහනුවර කණ්ඩායම ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය ලකුණු 11.30 සීමාවේ රඳවාගත් අතර චරිත් අසලංකගේ දැවීයාමත් සමගින් ලකුණු ලබාගැනීමේ වේගය අඩුවිය. දසුන් ශානක සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 49 කදී ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ චරිත් අසලංක, ශෙහාන් මදුසංකගේ පන්දුවක් සධීර සමරවික්‍රම හමුවේ උඩපන්දුවක් ලබාදීමෙන් දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි.

පන්දු 24 කට මුහුණදුන් චරිත් අසංලක ලකුණු 43 කට දැවීයන විට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සිය ඉනිමට එක්කරගෙන සිටියේය.

ලකුණු 173 කට කඩුලු 7 ක් දැවී තිබියදී අටවැනි කඩුල්ල සඳහා එක්වූ නිසල තාරක සහ ලසිත් මාලිංග පන්දු 24 කදී ලකුණු 38 ක් රැස්කරමින් ජයග්‍රහණය ආසන්නයට මහනුවර කණ්ඩායම රැගෙන ගියද අවසන් මොහොතේ ජයග්‍රහණය ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

නිසල තාරක පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කළ අතර ලසිත් මාලිංග පන්දු 6 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 14 ක් රැස්කළේය.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 217 ක් රැස්කිරීමට සමත්විය. මුල් ඕවර 10 තුළදී එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 106 ක් රැස්කළ දඹුල්ල පිතිකරුවෝ අවසන් ඕවර 10 තුළදී කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලකුණු 111 ක් රැස්කරගත් අතර මෙම තරගාවලියේදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවද වාර්තා කිරීමට ඔවුන් සමත්වූහ.

ආරම්භයේදී ආරක්‍ෂාකාරී ලෙස ලකුණු රැස්කිරීමක නිරතවූ ධනුෂ්ක ගුණතිලක පසුව ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකරමින් ලකුණු 87 ක් රැස්කිරීමට සමත්විය. ළහිරු ගමගේගේ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂ අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 54 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.

රමිත් රඹුක්වැල්ල සමගින් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පළමු කඩුල්ල සඳහා පන්දු 47 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල සඳහා සධීර සමරවික්‍රම සමගින්ද පන්දු 41 කදී ලකුණු 65 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

 රමිත රඹුක්වැල්ල ආරම්භයේදී වේගයෙන් ලකුණු රැස්කළද පසුව ලකුණු ලබාගැනීමේ වේගය අඩාලවූ අතර නිසල තාරකගේ පන්දුවක් හමුවේ ළහිරු ගමගේ අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවීයාමත් සමගින් පළමු කඩුල්ලේ සම්බන්ධතාවය බිඳවැටුණි. පන්දු 24 කට මුහුණදෙමින් ලකුණු 38 ක් රැස්කර ගෙන සිටි රඹුක්වැල්ලගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පස්වැනි කඩුල්ල සඳහා එක්වූ වනිඳු හසරංග සහ ඉසුරු උදාන පන්දු 16 කදී ලකුණු 38 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දඹුල්ල කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට ඔවුන් සමත්වූහ. වනිඳු හසරංග පන්දු 14 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කළ අතර ඉසුරු උදාන පන්දු 9 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කිරීමට සමත්විය.

චරිත් අසංලක යවන ලද තරගයේ සිවුවැනි ඕවරයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් (වයිඞ් පන්දුවක් ඇතුළත්ව) ලකුණු 21 ක් උදුරා ගැනීමට රමිත් රඹුක්වැල්ල සමත්වූ අතර ඕවර 4 අවසානයේ එක් කඩුල්ලක් දවාගනිමින් ලකුණු 57 ක් අසලංක විසින් ලබාදී තිබුණි.

මහනුවර කණ්ඩායමේ නායකයා විසින් පන්දු යවන්නන් හත් දෙනෙකු යොදාගත්තද සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අපොහොසත් විය. ළහිරු ගමගේ කඩුලු 2 ක් දවාගත් අතර ඔහුගේ ඕවර කිහිපය තුළදී උඩපන්දු කිහිපයක්ම අතහැරුණි. ලසිත් මාලිංග ඕවර 4 ලකුණු 25 කට සීමාකළද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.

ඊයේ තරගයට ක්‍රීඩාකළ මහනුවර කණ්ඩායමේ වෙනස්කම් 3 ක් සිදුකරමින් ජනිත් සිල්වා, නිපුන් රංසික සහ චාමික කරුණාරත්න වෙනුවට ධනංජය ලක්ෂාන්, නිසල තාරක සහ ළහිරු ගමගේ කණ්ඩායමට එක්වූ අතර දඹුල්ල කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් මිනෝද් භානුක සහ බිනුර ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත්කර ඉසුරු උදාන සහ අමිල අපෝන්සු කණ්ඩායමට එක්වූහ.

 

 

 

දඹුල්ල - මහනුවර වි20 ලීග් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූපය - ළහිරු හර්ෂණ


අදහස් (0)

දඹුල්ල කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.