Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දසුන්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

දසුන්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දසුන් ශානක (නොදැවී 102) ලබාගත් ශතකයට ස්තුති වන්නට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 294 ක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය. ජැමෙයිකාවේ ට්‍රිලෝනිහි පැවැත්වෙන මෙම තරගයේ ආරම්භක දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 14 ක් ලබා සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 11 ක් වන විට ලකුණු 2 ක් ලබා සිටි ආරම්භක පිතිකරු මොන්ට්සින් හොජ්ගේ කඩුල්ල බිඳ දැමීමට මාලින්ද පුෂ්පකුමාර සමත් වූයේය. කොදෙව් ලකුණු පුවරුවට තවත් ලකුණු 2 ක් එක්වන විට ජෝන් කැම්බල් ලකුණු 5 කට දැවී ගියේ ෂෙහාන් ජයසූරියගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.
 
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වරෙක ලකුණු 137 කට කඩුලු 5 ක් දැවී ඉතාමත් අසරණ අඩියකට වැටී සිටියේය. එහෙත් රොෂේන් සිල්වා (30) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දසුන් ශානක සමත් වූ අතර රොෂ්න් පිටියෙන් ඉවත් වන විට ලකුණු සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළ නැග තිබිණ. රොෂේන් සිල්වාගේ ඉනිමට හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

රොෂ්න් දැවි ගියද පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මකව තැබූ දසුන්ගේ 5 වැනි පළමු පෙළ ශතකය දැවැන්ත හයේ පහර 8 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර විය. සිය ශතකය වෙනුවෙන් දසුන් මුහුණ දුන්නේ පන්දු 108 කට පමණි.

දඟ පන්දු යවන්නන් වූ රකීම් කොන්වෝල් සහ ඩේමියන් ජේකබ්ස් දෙදෙනාට හයේ පහර 7 කින් සංග්‍රහ කළ දසුන්, තවමත් 20 හැවිරිදි වේග පන්දු යවන්නකු වන ඔෂේන් තෝමස්ගේ හිසට ඉහළින් ගැසූ හයේ පහර කලකට අමතක නොවන්නකි.  දසුන් ලකුණු 18 ක් ලබා සිටියදී උඩපන්දුවක් දුන් නමුත් ජෝන් කැම්බෙල් වෙතින් එය ගිළිහී ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කෙඕන් ජෝෂප් සමත් වුවද, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 160 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක ධනංජයද සිල්වා (73) සහ චරිත් අසලංක (41) සමත් වූහ. පන්දු 89 කදී වාර්තා වූ ධනංජයගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 104 කදී වාර්තා වූ අසලංකගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.


- 036


අදහස් (0)

දසුන්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.