Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෙපිලම කාසියේ දෙපැත්තම බලති

දෙපිලම කාසියේ දෙපැත්තම බලති

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

‘කි‍්‍රකට් කී‍්‍රඩාව අවිනිශ්චිතයි’ යන්න පරණ කතාවකි. එහෙත් ඒ පරණ කතාවේ සදාතනික වටිනාකමක් ඇතැයි  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවරදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගය බැලූ  ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.

තවත් පන්දු කිහිපයක් එහා මෙහා වුණානම්, නැතහොත්  ඕස්ටේ‍්‍රලියානු පිලට තවත් ලකුණු 10 ක් එක්වුණා නම් මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ කෙරුම්කාරයන් බවට පත්ව සිටින නවසීලන්ත පිලට තමන්ගේ ගෙමිදුලේදීම අත්විය හැකි ඉරණම බලාගන්නට තිබිණ.

එවන් තත්ත්වයක් තිබියදී පසුගිය වසරේදී දිගින් දිගටම එංගලන්ත පිල පරාජය කිරීමේ තැටිය ප‍්‍රතිවාදනය කිරීමෙන් ඵලක් නැති බව ශී‍්‍ර ලංකා කණ්ඩායම හොඳින් දනී. එබැවින් එංගලන්තයට එරෙහිව හෙට (1 වැනිදා) නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම සූදානම් වන්නේ තමන්ගේ ගෙදර වැඩ හොඳින් කරගෙන යාමටය.

තරගයට පෙර පැවැති පුවත් පත් සාකච්ඡුාවේදී වචන හංගා ගෙන කතා කළ ශී‍්‍ර ලංකා පුහුණුකරු මාවන් අතපත්තු මහතා, තමන්ගේ උපක‍්‍රම උවමනාවෙන්ම සගවාගෙන සිටියේ මාස 7 ක් ඇතුළත 12 වතාවක් තරග කළ කණ්ඩායමකට එරෙහිව ඒවා ඉතාමත් වටිනා බැවිනි. එබැවින් හෙට තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම දග පන්දු යවන්නන් දෙදෙනකු සමග කී‍්‍රඩා කළහොත් එය පුදුමයට කරුණක් නොවේ.

තරගය පැවැත්වෙන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවට මෙන්ම රග්බි සහ වෙනත් කී‍්‍රඩාවන් සඳහාත් යොදා ගන්නා නවසීලන්තයේ කලාපීය කී‍්‍රඩාංගණය හෙවත් ‘වෙස්ට් පැක්’ කී‍්‍රඩාංගණයේදීය. මෙම තරගය සඳහා මෙම කී‍්‍රඩාංගණය යොදාගෙන ඇත්තේ එහි නරඹන්නන් 35,000 කට වැඩි පිරිසකට ආසන පහසුකම් ඇති බැවිනි.

 ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ මෙන්ම ‘වෙස්ට් පැක්’ කී‍්‍රඩාංගණයේ ඇත්තේත් කි‍්‍රකට් තරග පැවැත්වෙන අවස්ථාවලදී ගෙනැවිත් සවිකරන කෘතිම තණතීරුවකි. මෙවන් කෘතිම තණතීරු බොහෝ විට ශී‍්‍ර ලංකාවේ පිතිකරුවන්ට සහ විශේෂයෙන්ම දග පන්දු යවන්නන්ටත් වාසිදායක වන අවස්ථා එමට තිබේ. එහෙත් මේවායේ වැඩිපුර ඇත්තේ දග කැවීම නොව පන්දුව ඉපිළීමයි.

එවන් තණතීරුවකදී, සචිත‍්‍ර සේනානායක වැනි උස පන්දු යවන්නකුට සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත හැකිය. ඇරත් අංක 7 පිතිකරුවා ලෙසින් කණ්ඩායමට එක්ව සිට තුවාල ලබා ඉවතට ගිය ජීවන් මෙන්ඩිස් සහ සචිත‍්‍ර සේනානායක දෙදෙනාගෙන් අවසන්  ඕවර කිහිපය තුළ ලබාගත හැකි සේවය සලකා බලන කල්හි සේනානායකට වඩාත් වැදගත් යමක් කළ හැකිය.

පිටියේ ඉතාමත් කාර්යබහුල පන්දු රකින්නකු වන සචිත‍්‍ර සේනානායක කිසිදු තර්කයකින් තොරවම මෙන්ඩිස්ට වඩා ඉදිරියෙන් සිටින පන්දු යවන්නෙකි. පිතිහරඹයේදීත් පන්දු යවන්නන්ට රිදෙන තරමේ පහර කිහිපයක් ගැසීමටද සේනානායකට පුළුවන.

මාවන් අතපත්තු අද සවස කී ආකාරයෙන් පිතිකරුවන්ට තමන්ගේ පහර කරා යාමට නිදහස දෙන්නේ නම් දිමුත් කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල් යොදවා ගත හැකිය. චන්දිමාල් යනු තමන්ගේ තරම පෙන්වූ, පළපුරුදු කී‍්‍රඩකයෙකි. එහෙත් පසුගිය කාලයේ කිසියම් උපදෙසක් හෝ කිහිපයක් නිසා චන්දිමාල් තමන්ගේ සුපුරුදු පහර කරා නොයන තත්ත්වයක් දක්නට තිබිණ.

කෙසේ වෙතත් තමන්ගේ පහර කරා යමින් ලකුණු ලබාගැනීම පිතිකරුවා සතු වගකීමක් මිස වෙනත් අයකුට චෝදනා කළ හැකි ඉසව්වක් නොවේ.

”අප හැම වෙලාවේම කී‍්‍රඩකයකුගේ ස්වාභාවික දක්‍ෂතා අගය කරනවා. දිරිමත් කරනවා”

”ඒක තාක්‍ෂණය සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙමේ. තමන් දන්න දේ, තමන්ට හුරු පුරුදු දේ මැද්දට ගිහිල්ලා බය නැතිව, අසාර්ථක නොවී, කි‍්‍රයාත්මක කරන්න කාටහරි පුළුවන් නම් අපි ඔහුව නිතරම දිරිමත් කරනවා” යයි මාවන් අතපත්තු අද පස්වරුවේ වෙලින්ටන් නුවරදී පැවසීය.

මේ අනුව හෙට තරගයේදී ජීවන් මෙන්ඩිස් වෙනුවට සචිත‍්‍ර සේනානායකත්, දිමුත් කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල්වත් යොදවන්නේ නම් පිතිකරු අනුපිළිවෙලේ අංක 8 දක්වා විශ්වාසය තැබිය හැකිය. ඒ සමගම කණ්ඩායම තුළ වේග පන්දු යවන්නෝ සිවු දෙනෙක් (ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්) සහ දග පන්දු යවන්නෝ තිදෙනෙක් (රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, තිලකරත්න ඩිල්ෂාන්* සිටිති. එය ඉතාමත් සමබර කණ්ඩායමකි.

මේ කාසියේ එක් පැත්තකි. කාසියේ අනෙක් පැත්තේ හැඩරුව මෙසේය.
තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ වෙලින්ටන් නුවර බැවින් දග පන්දු යවන්නන්ට වැඩි වාසියක් අපේක්‍ෂා කළ නොහැකිය. හරියටම සතියකට ඉහතදී නවසීලන්ත පිල විසින් එංගලන්ත කණ්ඩායම ලකුණු 123 කට දවාලූයේත් මෙම කී‍්‍රඩාංගණයේදී ටිම් සවුතී පන්දුව දෝලනය කරමින් කළ වික‍්‍රමය හේතුවෙනි.

එම තත්ත්වයන් සැලකිල්ලට ගතහොත් හෙට තරගයේදී යොදගත යුතු පන්දු යවන්නා වන්නේ සචිත‍්‍ර සේනානායක නොව දුෂ්මන්ත චමීරයි. දුෂ්මන්ත චමීර ගැන එංගලන්ත කී‍්‍රඩකයන් වැඩිපුර නොදන්නා නිසාත් දුෂ්මන්තට අවස්ථාව ලැබීමට ඉඩ තිබේ.

පන්දු යවන්නන් තේරීමේදී තවත් කාරණාවක් ගැන සැලකිල්ල යොමු කළ යුතුය. වෙලින්ටන් නුවර ප‍්‍රධාන කි‍්‍රකට් කී‍්‍රඩාංගණ දෙකින් බේසින් රිසව් කී‍්‍රඩාංගණය කඳු වලල්ලකින් වටවුණ බේසමක් වැනි තැනක පිහිටා තිබෙන නමුත් හෙට තරගය පැවැත්වෙන වෙස්ට්පැක් කී‍්‍රඩාංගණය පිහිටියේ මුහුද අද්දරය.

ෆිට්ස්රෝයි බොක්කත්, වෙලින්ටන් වරායත් හරහා පැමිණ අවට කඳු වළල්ලේ වැද කැරකී එන සුළගේ වේගයද පන්දුව දෝලනය කිරීමේදී පන්දු යවන්නන්ට මහත් පිටුවහලකි. එවන් තත්ත්වයක් යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සිවුවැනි වේග පන්දු යවන්නා පිළිබඳව කල්පනා කළහොත් දුෂ්මන්ත චමීරට අවස්ථාව ලැබෙනු ඇත.

මේ තරගය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකාවට වඩා ඉතාමත් වෙනස් තත්ත්වයන් යටතේ බවත් ඒ ගැන නිසි අවධානය යොමුකර ඇතිද යන්න  ගැනත් කළ විමසීමේදී මාවන් අතපත්තු දුන්නේ අධි අවධාරණය කළ පිළිතුරකි.

”සත්තකින්ම...අපි ඒ ගැන හොඳ අවධානයකින් ඉන්නේ” යයි ශී‍්‍ර ලංකා පුහුණුකරුවා පැවසීය.

අනෙක් අතට එංගලන්ත පන්දු යැවීමේ බලඇණියද කිසි සේත්ම අවතක්සේරු කළ නොහැකිය. ඇරත් එංගලන්ත පන්දු යවන්නන් මේ වන විට සිටින්නේත් තුවාල ලද ව්‍යෘඝ‍්‍රයන් මෙනි. විශේෂයෙන්ම පන්දුව දෝලනය වන වටාපිටාවක ජේම්ස් ඇන්ඩසන්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින්, කි‍්‍රස් ජෝර්ඞ්න් සහ කි‍්‍රස් වෝක්ස් සමග ගනුදෙනුව පහසු නොවේ.

පිතිකරුවන් ගෙන බැලූවද එංගලන්තය වඩාත් සමබර කණ්ඩායමකි. ඉයන් බෙල්, ගැරී බැලන්ස් සහ ජෝ රූට් වැනි සම්මත පිතිකරුවන් සමග මොයින් අලි, ජොස් බට්ලර්, ඔයින් මෝගන් සහ ඇලෙක්ස් හේල්ස් වැනි ප‍්‍රහාරකයෝද එංගලන්තය සතුව සිටිති.

කොයි අතින් ගෙන බැලූවත් දෙපිලම කරට කරය. දෙපිලම සිය අවසන් 11 දෙනා තෝරා ගැනීම සඳහා කාසියේ දෙපැත්තම බලමින් සිටිති.

අතීත කතා ඇවැසි නොවේ. මුත්තයියා මුරලිදරන් කියන්නාක් මෙන් හෙට දිනයේ හොඳින් පන්දු යවන කණ්ඩායම තරගයෙන් ජයගනු ඇත.


ශී‍්‍ර ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, සචිත‍්‍ර සේනානායක, රංගන හේරත්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල්,

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ඉයන් බෙල්, මොයින් අලී, ගැරී බැලන්ස්, ජෝ රූට්, ජේම්ස් ටේලර්, ජොස් බට්ලර්, කි‍්‍රස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ස්ටීවන් ෆින්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපාරා, ඇලෙක්ස් හේල්ස්, කි‍්‍රස් ජෝර්ඞ්න් සහ ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්


 

 

 

 

 

 

 

 

 

 

 

 

වෙලින්ටන් නුවර වරාය අසළම පිහිටි වෙස්ට් පැක් කී‍්‍රඩාංගණය (දම් පැහැයෙන් තිතකින් දැක්වේ) කඳු වල්ලකින් වටවී තිබෙන ආකාරය

 


අදහස් (1)

දෙපිලම කාසියේ දෙපැත්තම බලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.