Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දෝනි - රයිඩු චෙන්නායි පිලට ජය ගෙනෙති

දෝනි - රයිඩු චෙන්නායි පිලට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 24 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර බැංගලෝර්හිදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර්කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා චෙන්නායි කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 16 ක් රැස්කිරීමට සිදුවිය. කෝරි ඇන්ඩසන් යැවූ එම ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවලට හතරේ පහරකින් සහ හයේ පහරකින් සංග්‍රහ කළ ඞ්වේන් බ්‍රාවෝ, අවසන් පන්දු 3 දී ලකුණු 5 ක් රැස්කිරීම සඳහා මහේන්ද්‍ර සිං දෝනිට අවස්ථාව ලබාදුන්නේය.

අවසන් ඕවයේදී තමා මුහුණුදුන් පළමු පන්දුවම හයේ සීමාවට ඉහළින් යැවූ දෝනි තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදීම සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දෝනි පන්දු 34 කදී නොදැවී ලකුණු 70 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහරක් සමගිනි.

ආරම්භක පිතිකරු අම්බටි රයිඩු පන්දු 53 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 82 ක් රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමීය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් දෝනි සමග එක්ව පන්දු 53 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිඩු සමත් විය.

චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමේ නායක දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 205 ක් ලබා ගත්තේය.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ඒ.බී. ඩිවිලියස් පන්දු 30 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩිවිලියස් සමත් විය. පන්දු 37 කදී වාර්තා වූ ඩි’කොක්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.

බැංගලෝර් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් මන්දීප් සිං එහිදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක්ද සමගිනි. ඞ්වේන් බ්‍රාවෝ, ඉම්රාන් තාහිර් සහ ශර්දුල් ඨාකූර් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු දෙක බැගින් දවාගත්හ.


රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 205
(ඒ.බී. ඩිවිලියස් 68, විරාට් කෝලි 18, ක්වින්ටින් ඩි’කොක් 53, මන්දීප් සිං 32, ඞ්වේන් බ්‍රාවෝ, ඉම්රාන් තාහිර් 35/2, ශර්දුල් ඨාකූර් 46/2)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 19.4 කදී කඩුලු 5 කට 207
(අම්බටි රයිඩු 82, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 70, ඞ්වේන් බ්‍රාවෝ නොදැවී 14, යුස්වෙන්ද්‍ර චාහාල් 26/2)


- 036

 

 


අදහස් (0)

දෝනි - රයිඩු චෙන්නායි පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.