Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර තවත් ඉදිරියට

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර තවත් ඉදිරියට

රොෂාන් ගුණරත්න - 2018 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත්  කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට සමත්ව ඇත.
 
දිමුත් කරුණාරත්නට අමතරව ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණීමට දිනේෂ් චන්දිමාල් සහ දනුෂ්ක ගුණතිලක සමත්වී ඇති අතර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණීමට රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ අකිල ධනංජය සමත්වූහ. 

තරගාවලිය පුරාම පිත්තෙන් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී නොදැවී ලකුණු 158 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 60 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගියේය. දෙවැනි ටෙස්ට් තරගයේදීද, සුපුරුදු දක්ෂතා අතරට පැමිණි දිමුත් කරුණාරත්න පළමු ඉනිමේදී ලකුණු 53 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 85ක් රැස් කරමින් තරගයේ විරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද දිනා ගැනීමට සමත්විය. 

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර අන්තර්ජාතික ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 10 තුළ රැදී සිටියේ දිනේෂ් චන්දිමාල් පමණි. දකුණු අප්‍රිකානු සංචාරය සඳහා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකළද ඔහු 9 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. 

දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව අර්ධ ශතක දෙකක් ලබා ගත් ධණුෂ්ක ගුණතිලක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 73 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්විය.  

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථාන 10 තුළ රැඳී සිටීමට රංගන හේරත්ට හැකියාව ලැබී ඇත. දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුල්ලත් දෙවැනි ඉනිමේදී කඩුලු 6 ත් සමගින් ඉනිම් දෙකේදී කඩුලු 7ක් බිඳ හෙලීමට හේරත් සමත්විය. මේ සමග නවසීලන්තයේ ටේ‍රන්ට් බෝල්ට් පසුකර යෑමට රංගන හේරත්ට තවත් අවශ්‍යව ඇත්තේ ප්‍රසාද ලකුණු 4ක් පමණි. 

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම කඩුලු 6ක් බිඳ හෙළමින් දක්ෂතා දැක්වූ දිල්රුවන් පෙරේරාද පන්දු යවන්නන්ගේ සටහනේ තවත් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 23 වැනි ස්ථානය තහවුරු කරගෙන සිටියි. දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 2ක් බිඳ හෙළමින් දක්ෂතා අතරට පැමිණි අකිල ධනංජය ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 37 වැනි ස්ථානය තෙක් ඉහළට පැමිණ ඇත. 

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලය වන ඩීන් එල්ගා සහ ඒඞ්න් මාක්‍රම්ද පිතිකරණ වර්ගීකරණයේ පිළිවෙළින් 9 වැනි සහ 10 වැනි ස්ථාන දක්වා පහත වැටී ඇත. දෙවැනි ටෙස්ට් තරගයේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකානු දග පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 18 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණ ඇත. 

ලෝකයේ අංක 1 ටෙස්ට් පන්දු යවන්නා ලෙසින් මෙවර තරගාවලිය ඇරඹූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා සුපුරුදු දක්ෂතා අතරට නොපැමිණීම නිසා නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ දෙවැනි ස්ථානය තෙක් පසුබැස තිබේ. ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩසන්ට හැකියාව ලැබිණ. ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය 1000 වැනි ටෙස්ට් තරගයට සහභාගී වනු ලබන්නේ ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නාවූ ජේම්ස් ඇන්ඩ්‍රසන් සමගිනි. 

024

 


අදහස් (0)

දිමුත් ටෙස්ට් පිතිකරුවන් අතර තවත් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.