Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිමුත් කරුණාරත්න (139) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 85) දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 217 ක සම්බන්ධතාව නිසා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (11) ආරම්භ වූ පළමු සිවුදින තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ඕවර 90 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 261 ක් රැස් කිරීමට සමත් විය.
පළමු දිනයේ ක‍්‍රීඩා අවසන් කරන විට ළහිරු තිරිමාන්න (නොදැවී 85) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 29) පන්දුවට පහර දෙමින් සිටියහ.
දිමුත් සහ තිරිමාන්න දෙවැනි කඩුල්ලට ඕවර 74.1 කදී නැතහොත් පන්දු 445 කදී ලකුණු 217 ක සම්බන්ධතාවක් පවත්වමින් කොදෙව් පන්දු යවන්නන් වෙහෙසට පත්කිරීමට සමත් වූහ.
දිමුත් කරුණාරත්න අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 234 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 139 ක් රැස්කරමින් සිය 18 වැනි පළමු පෙළ ශතකය වාර්තා කළේය.
කොදෙව් ‘ඒ’ පිලේ නායක කාලෝස් බ‍්‍රැත්වයිට් පිට ඉන්නෙන් පිටතට දෝළනය කළ පන්දුව පිත්තේ දාරයේ වැදී කඩුලූ රකින්නා රැක ගැනීමත් සමග දිමුත්ගේ ඉනිම අවසන් විය.
දිමුත්ට පසුගිය පාකිස්තානු සංචාරයේදී ටෙස්ට් පිලේ ස්ථානය අහිමිවිය. දිමුත් අද පෙරවරුවේ ප‍්‍රබල වේග පන්දු යවන්නන්ට එරෙහිව හොද සටනක නිරත වෙමින් දිගු ඉනිමකට පරිසරය සකස්කර ගැනීම කැපී පෙනුණි.
දිමුත් ඊයේ දිනයේ ක‍්‍රීඩාව අවසන් වීමෙන් පසුව ‘ලංකාදීප’යට පැවසුවේ තමන් අවසන් ටෙස්ට් ඉනිම හයේදීම හොදින් ක‍්‍රීඩා කරමින් සිටියදී වෙනත් පහරවලින් ලකුණු ලබා ගැනීමට ගොස් දැවී ගිය බවත් මෙම ඉනිම පසුගිය මාස දෙක තුළදී පුහුණුකරු මාවන් අතපත්තු සමග එකතු වී කළ විශේෂ පුහුණුවේ ප‍්‍රතිඵලයක් බවත්ය.
”එංගලන්ත ටෙස්ට් තරගයෙන් පසුව මට සිවුදින තරගයක ඉනිමක් ලැබුණේ මේ තරගයේදීයි. මම පසුගිය කාලයේ දැවී ගියේ වෙනස් පහරවලින් ලකුණු සොයන්න ගිහිල්ලා. මාවන් අතපත්තු මහතා පොඩි වෙනස්කම් කීපයක් කළා. ඒ අනුව මම පන්දුවට පහර දුන්නා”
‘‘දැවී ගිය පන්දුවට පිට ඉන්නෙන් ටිකක් එලියෙ පන්දුවක්, ඒකට පහරක් නොගහ හිටියනම් හො`දහි කියලා දැන් හිතෙනවා. නමුත් මම පසුගිය කාලේ එවැනි පන්දුවට පහර දෙන්න පුහුණු වුණා. ඊළග ඉනිමේදී එය නිවැරදි කරගෙන ක‍්‍රීඩා කරනවා”
”කොදෙව් වේග පන්දු යවන්නන් දෙදෙනා පෙරවරුවේ අපිට බවුන්සර් පන්දු වැඩියෙන් යැවුවා. තරංග දැවී ගියාට පස්සේ මමයි, තිරිමාන්නයි පන්දුව පරණ වෙලා, හිරු එළිය තණතීරුවට ලැබෙන තුරු කඩුල්ලේ රැදී සිටීමට තීරණ කළා. ඊට පසුව අපිට පහර දෙන්න පහසු වුණා” යැයි දිමුත් වැඩි දුරටත් පැවසීය.
ළහිරු තිරිමාන්න පන්දු 245 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 85 ක් ලබා සිටියේය. තිරිමාන්න අර්ධ ශතකය මිනිත්තු 182 කදී පන්දු 145 කදී සම්පූර්ණ කළ අතර එහිදී පිට ඉන්න දෙසට පතන වූ පන්දුවට ලකුණු ලබා ගනිමින් ආරක්‍ෂාකාරි ඉනිමක් ක‍්‍රීඩා කළ ආකාරය දැකිය හැකි විය.
දිනේෂ් චන්ද්මාල් අවසන් ඕවර කීපයේදී නිදහසේ සිය පහර කරා යමින් ඉනිමේ මේ දක්වා සටහන් වූ හයේ පහර දෙකටම හිමිකම් කීය.
කොදෙව් පිල දිනය අවසන් වන විට පන්දු යවන්නන් අට දෙනකුගේ සේවය ලබාගෙන තිබීමෙන් දිමුත් සහ තිරිමාන්න අතර සම්බන්ධතාවයෙන් කොතරම් වෙහෙසට පත්ව තිබුණේ ද යන්න පැහැදිළි වේ.
අඩි හයකට වඩා උස ක‍්‍රීඩකයකු වන දකුණතින් වේග පන්දු යවන ශනොන් ගේබි‍්‍රයල් උස ප‍්‍රයෝජනයට ගනිමින් යැවූ පන්දුවෙන් ගැලවීමට නායක උපුල් තරංග (03) උත්සාහ කළ ද කඩුලූ රකින්නා උඩ පන්දුවක් රැක ගැනීමෙන් පස්වැනි ඕවරයේදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ශනොන් ගේබි‍්‍රයල් ටෙස්ට් තරග 9 කදී කඩුලූ 22 ක් දවාගෙන ඇති ක‍්‍රීඩකයෙකි. වමතින් සහ දකුණතින් වේග පන්දු යවන්නන් වන ශනොන් ගේබි‍්‍රයල් සහ ෂෙල්ඩන් කොටි‍්‍ර පිතිකරුවන්ට හොද අභියෝගයක් යොමු කළහ.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක උපුල් තරංග කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
පෙර දිනයේ වර්ෂාව ඇද හැලූණ ද අද දිවා විවේකයෙන් පසුව ක‍්‍රීඩාංගණයට දැඩි හිරු රැස් පතිත වූ අතර අසාමාන්‍ය සුළං තත්ත්වයක් දැකිය හැකි විය.
හෙට (12) තරගයේ දෙවැනි දිනයයි.
ඡායාරූප - අමිල ගමගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.