Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දිමුත්ගේ ශතකයෙන් නවසීලන්ත සැලසුම් කල්යයි

දිමුත්ගේ ශතකයෙන් නවසීලන්ත සැලසුම් කල්යයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිය මංගල ටෙස්ට් ශතකය නවසීලන්තයේදී ලබාගත් දිමුත් කරුණාරත්නගේ ධෛර්යවත් පිතිහරඹය නිසා ශී‍්‍ර ලංකාවට එරෙහිව ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේදී ජයපැන් බීමේ සැලසුම් තවත් දිනයකින් කල්දැමීමට නවසීලන්තයට සිදුවිය. තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටි අතර නවසීලන්තයට වඩා ලකුණු 10 ක් පසුපසින් සිටියේය.

තරගයේ තවත් දින දෙකක කාලයක් ඉතිරිව තිබේ.

ලකුණු 303 ක අවාසියක් සහිතව දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දීමට පිළිපන් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) කී‍්‍රඩාව අවසානයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 84 ක් රැස්කරගෙන සිටියේය. එහෙත් ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ ටිම් සවුති දෙදෙනාගේ පන්දු යැවීම හේතුවෙන් අද (28 වැනිදා) පෙරවරුවේ පළමු අඩහෝරාවේදීම කඩුලූ දෙකක් බිඳ වැටිණ.

කිසිවකු නොදැවී 85 ක් සේ කියැවුණු ලකුණු පුවරුව හදිසියේම කඩුලූ 2 කට 94 ක් සේ දිස්වූවත් උපනායක ළහිරු තිරිමාන්න සමග එක්වූ දිමුත් කරුණාරත්න ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ලකුණු 181 දක්වා ශී‍්‍ර ලංකා පිල තල්ලූ කරගෙන ගියේය. යන්තම් හිස එසවීමට සූදානම් වූ මොහොතේදී ළහිරු තිරිමාන්න ලකුණ 25 කට දැවී ගියත් ඉන් අනතුරුව පිටියට පිවිසි නායක ඇන්ජලෝ මැතිව්ස් පසුපස නොබැලීය.

ඒ වන විට පන්දුව හෙඳින් දකිමින් සිටි දිමුත් කරුණාරත්න සමග එක්වූ නායකයා මෙම ටෙස්ට් තරගයේදී දෙවැනි අර්ධ ශතකයත් ලබාගනිමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 277 දක්වා ඉහළ දමද්දී කි‍්‍රයාත්මක වූ ටෙ‍්‍රන්ට් බෝල්ට් පන්දු 18 ක් ඇතුළත තවත් කඩුලූ දෙකක් බිම හෙළමින් ශී‍්‍ර ලංකා නායකයාගේ මග හරස් කළේය.

ලකුණු 49 ක් ලබා සිටියදී අද පෙරවරුවේ සිය ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්න සිය ලකුණු 152 වෙනුවෙන් පන්දු 363 කට මුහුණ දුන් අතර 363 වැනි පන්දුව කඩුල්ල සොයා ඇදී එන විට දිනයේ කී‍්‍රඩාව අවසන් වීමට ඉතිරිව තිබුණේ අඩහෝරාවක් පමණ කාලයකි. එහෙත් එම කාලය ඇතුළත සිය කඩුල්ල රැකගැනීමට අපොහොසත් වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 4 ක් ලබා සිටියදී ජේම්ස් නීෂම්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ලකුණු 287 කට කඩුලූ 5 ක් සේ අසරණ කරමිනි.

ප‍්‍රසන්න ජයවර්ධන සහ ධම්මික ප‍්‍රසාද් දෙදෙනාම කී‍්‍රඩාගාරයේ සිටියදී, දිනයේ මුරකරු පිතිකරු ලෙසින් පිටියට පිවිසි තරිඳු කෞෂාල් සිය නායකයා සමග දිනය අවසන් වන තුරුත් පිටියේ රැඳී සිටීමට සමත්විය.

දිමුත් කරුණාරත්නගේ මීට පෙර හොඳම ටෙස්ට් ඉනිම වූයේ වසර 2013 දී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි පිටියේදී ලබාගත් ලකුණු 85 යි. ටෙස්ට් තරග 13 කට සහභාගි වෙමින් අර්ධ ශතක 4 ක් ලබා සිටි දිමුත් කරුණාරත්නගේ ටෙස්ට් අර්ධ ශතක දෙකක්ම (නොදැවී 60 සහ නොදැවී 62) ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයගත් තරග දෙකකදී දෙවැනි ඉනිමේදී ලබාගත් අර්ධ ශතක විය.

”ඔහු ඉතාමත් දැඩි ලෙස සිය කඩුල්ලේ ඇලී සිටියා. විශේෂයෙන්ම දිනයේ අවසන් කොටස වෙද්දී ඔහු ඉතා හොඳින් කී‍්‍රඩා කරමින් සිටියා” යයි කරුණාරත්නගේ ඉනිම සම්බන්ධයෙන් ටිම් සවුතී නවසීලන්තයේ කී‍්‍රඩා ගුවන් විදුලියට පැවසීය.

දැනට පිටියේ රැඳී සිටින පිතිකරුවන් අතරේ සිටන එකම පිළිගත් පිතිකරුවා වන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් වන හෙයින් තවත් කඩුල්ලක් දැවී ගියහොත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරු ලයිස්තුව විවර වෙයි. එය නවසීලන්ත පන්දු යවන්නන්ගේ නොමඳ ෂතුටට හේතු වනු ඇත.

එහෙත් කඩුලූ රකින කී‍්‍රඩක ප‍්‍රසන්න ජයවර්ධන ටෙස්ට් ශතක 4 ක සහ අර්ධ ශතක 5 ක හිමිකරුවකු වන අතර ධමිම්ක ප‍්‍රසාද් ටෙස්ට් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 47 ක් වන නමුත් පළමු පෙළ ශතකයක හිමිකරුවෙකි.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ඒ. එෆ්. පී. අනුග්‍රහයෙනි


අදහස් (0)

දිමුත්ගේ ශතකයෙන් නවසීලන්ත සැලසුම් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.