Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නවසීලන්තය තනි තුරඟකුගේ තත්ත්වයට

නවසීලන්තය තනි තුරඟකුගේ තත්ත්වයට

Dilrukshi - 2015 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන 18 වැනි එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 9 වැනිදා බර්මින්හැම්හි පිහිටි එඞ්බැස්ටන් ක‍්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියට තරග පහක් ඇතුළත් වේ.
පසුගිය මාර්තු මස ඔස්ටේ‍්‍රලියාවේදී අවසන් වූ එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමෙන් පසුව නවසීලන්තය සහභාගි වන පළමු එක්දින තරගාවලිය මෙය වේ.

මීට පෙර දෙරට අතර පැවැති ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන්වීමෙන් මෙම තරගාවලිය ජය ගැනීමට දෙපිලටම ප‍්‍රබල සටනක නිරතවීමට සිදුව තිබේ. එහෙත් පසුගිය දක්‍ෂතා අනූව නවසීලන්තයට වඩා තරමක් පසුපසින් සිට එංගලන්තය මෙම සටනට සහභාගි වේ.

එංගලන්තය සත්කාරකත්වයේ වාසිය සමගින් තරගාවලියට මුහුණ දුන්නද නවසීලන්තය  අවසන් මාස හය තුළදී සහභාගි වූ එක්දින තරග 18 කින් පරාජය වී ඇත්තේ තරග තුනක් පමණි. එය ඉයන් මෝර්ගන් නායකත්වයෙන් යුත් එංගලන්තයට දැඩි අභියෝගයක් වන අතර එංගලන්තය අවසන් මාස හය තුළදී සහභාගි වූ එක්දින තරග 12 කදී ජය ගෙන ඇත්තේ තරග 4 ක් පමණි.

එංගලන්තය සහ නවසීලන්තය ඉකුත් ලෝක කුසලානයේදී වෙලින්ටන්හිදී මුණ ගැසුන අතර එහිදී නවසීලන්තයට පහසු ජයක් අත්විය.

1973 දී නවසීලන්තය සහ එංගලන්තය පළමු වරට එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි විය. එම තරගයේදී බෙව් කොන්ග්ඩන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත පිල කඩුලූ 8 කින් පරාජය කිරීමට රේ ඉලිංග්වර්ත්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිල සමත් විය. එදා  සිට ආරම්භ වූ නවසීලන්තය සහ එංගලන්තය අතර එක්දින තරග ඉතිහාසයේ දෙපිල මුණ ගැසුන අවස්ථා 78 කදී නවසීලන්තයට ජයග‍්‍රහණ 39 ක් සහ එංගලන්තය ජයග‍්‍රහණ 33 ක් වශයෙන් තරග තීරණයක් සහිතව අවසන් වී තිබේ.

වසර 42 ක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන එංගලන්තය සහ නවසීලන්තය අතර මෙතෙක් පැවැති එක්දින තරගාවලි 17 කදී දෙපිලම තරගාවලි හත බැගින් ලබා තිබේ. තීරණයත් රහිතව අවසන්වූ තරගාවලි ගණන තුනකි.
එංගලන්තය සහ නවසීලන්තය අතර එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇත්තේ නවසීලන්තයේ හිටපු ක‍්‍රීඩක ජෝන් රයිට්ය. ඔහු තරග 30 කදී ලකුණු 930 ක් ලබා තිබේ. එම ලැයිස්තුවේ දෙවැනි තැන එංගලන්ත පිතිකරු ඇලන් ලෑම්බ්ට හිමිව තිබේ. ඔහු එක්දින තරග 28 කදී ලකුණු 921 ක් ලබා තිබේ.

දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා බවට පත්ව සිටින්නේ එංගලන්ත හිටපු නායක ඬේවිඞ් ගවර්ය. ඔහු ශතක තුනක් ලබා ඇති අතර එම වාර්තාව සම කිරීමට වත්මන් නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්ට අවශ්‍යව ඇත්තේ එක් ශතකයක් පමණි.

ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලි එංගලන්තයට එරෙහිව කඩුලූ 34 ක් දවා  ගනිමින් දෙරට අතර එක්දින තරගවලදී වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව තිබේ. නමුත් ඔහුගේ වාර්තාව මෙවර තරගාවලියේදී බිද දැමීමට ජේම්ස් ඇන්ඩසන්ට අවශ්‍යව තිබෙන්නේ තවත් කඩුලූ 2 ක් පමණි. ඇන්ඩසන් මේ වන විට කඩුලූ 33 ක් ලබා තිබේ.

එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර නවසීලන්ත පිල පසුගිය 6 වැනිදා ලෙෂ්ටසයර් ප‍්‍රාන්තය සමගින් පැවැති තරගයේදී ලකුණු 198 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය. එම තරගයේදී ග‍්‍රාන්ට් එලියට් පන්දු 79 කදී ලකුණු 106 ක්ද ලූක් රොන්කි පන්දු 76 කදී ලකුණු 106 ක්ද වශයෙන් ලබා ලකුණු අතරට පැමිණීමට සමත් වූහ.

2014 වසරේදී දකුණු අප‍්‍රිකාව හමුවේ 2-0 ක පරාජයක් ලැබීමෙන් පසුව නවසීලන්තය සහභාගි වූ එක්දින තරගාවලි හතරක් පිට පිටම ජය ගැනීමට සමත් විය. ඔවුන්ගේ පස්වැනි තරගාවලිය වූ ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. නමුත් එංගලන්තය 2014 වසරේදී ස්කොට්ලන්තය පරාජය කිරීමෙන් පසුව මෙතෙක් කිසිදු එක්දින තරගාවලියක් ජය ගැනීමට අපොහොසත් වී තිබේ.

එංගලන්ත සංචිතය
ඉයන් මෝර්ගන් (නායක), සෑම් බිලින්ග්ස්, ජෝස් බට්ලර්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක‍්‍රිස් ජෝර්ඩන්, ලයාම් ප්ලන්කට්, අදිල් රෆීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, ජේම්ස් ටේලර්, ඬේවිඞ් විලී, මාර්ක් වුඞ්

නවසීලන්ත සංචිතය

බ්‍රෙන්ඩන් මැකලම් (නායක), කෝරි ඇන්ඩසන්, ටේ‍්‍රන්ට් බෝල්ට්, ග‍්‍රාන්ට් එලියට්, මාර්ටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලෙතම්, මිචෙල් මැක්ලෙනගන්, නෙදන් මැකලම්, ලූක් රොන්කි, මිචෙල් සැනට්නර්, ටිම් සවුති, රෝස් ටේලර්, බෙන් වීලර්, කේන් විලියම්සන් සහ ඇඩම් මිල්න්

එක්දින තරග කාල සටහන

  • පළමු එක්දින තරගය ජුනි 9 වැනිදා  (එඞ්බැස්ටන්)
  • දෙවැනි එක්දින තරගය ජුනි 12 දා (කිංග්ස්ටන්  ඕවල්)
  • තෙවැනි එක්දින තරගය  ජුනි 14 දා (රෝස් බෝල්)
  • සිව්වැනි එක්දින තරගය ජුනි 17 දා (ටේ‍්‍රන්ට්බි‍්‍රජ්)
  • පස්වැනි එක්දින තරය ජුනි 20 දා (රිවර් සයිඞ්)

 


අදහස් (0)

නවසීලන්තය තනි තුරඟකුගේ තත්ත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.