Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නාගයින්ට බියෙන් චෙන්නායි තරග පූනේට

නාගයින්ට බියෙන් චෙන්නායි තරග පූනේට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙන්නායිහි ප්‍රධානතම ක්‍රීඩාංගණය වන චෙපොක් ක්‍රීඩාංගණයට නාගයින් මුදාහරින බවට කළ තර්ජනය නිසා චෙන්නායිහිදී පැවැත්වීමට නියමිත සියලුම අයි.පී.එල්. තරග පූනේ නගරය වෙත ගෙනයාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. මේ හේතුවෙන් අයි.පී.එල්. තරග හයක් චෙන්නායිහි චෙපොක් ක්‍රීඩාංගණය අහිමි වනු ඇත. 

“පොලිසිය අපට කිව්වා පවතින තත්ත්වයේ හැටියට ඉදිරියේදී පැවැත්වෙන තරග වලට ආරක්‍ෂාව දෙන්න එයාලට පුළුවන් කමක් නෑ කියලා. ඒ නිසා තරග චෙන්නායි වලින් පිටතට ගෙන යන්න සිද්ධ වෙනවා” යයි අයි.පී.එල්. තරගාවලියේ සභාපති රජිව් ෂුක්ලා මහතා පැවසීය. 

“තරග චෙන්නායි නගරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේත් විරෝධතාවක් නෑ” යයිද ෂුක්ලා මහතා වැඩිදුරටත් පැවසීය. 

මුදලට තරග පාවාදීම හේතුවෙන් වසර දෙකක් පුරා තරග තහනමකට ලක්ව සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තහනමෙන් මිදීමෙන් පසුව පළමු වැනි තරගයට සහභාගි වූයේ අඟහරුවාදා (10 වැනිදා)ය. එහෙත් කාවේරි නදියේ ජලය බෙදීයාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන විරෝධතා හේතුවෙන් පසුගිය අඟහරුවාදා චෙන්නායි පිලත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් අතර පැවැති තරගයේදී ක්‍රීඩාංගණය ඇතුළත මෙන්ම පිටතත් විරෝධතා පැවැත්විණ. 

පොලිසිය සමග ගැටුණු විරෝධතාකරුවෝ ඇතැම් දේ ගිනිතබමින් මහත් කෝලාහලයක් ඇතිකළහ. එහිදී ප්‍රේක්‍ෂකයන් සහ පොලිස් නිලධාරීන් අතර ගැටුම් ඇතිවිය. විරෝධතාකරුවන් විසින් ක්‍රීඩාංගණයට යම් යම් දේවල් වීසිකරන ලද අතර පිටියේ සිටි ක්‍රීඩකයන් වෙත පාවහන් වලින් දමාගසන ලදි. 

දේශපාලන මුහුණුවරක් ගත් මෙම විරෝධතාවෙන් පසුව විරෝධතා කණ්ඩායම් බදාදා (11 වැනිදා) කියා සිටියේ චෙන්නායි කණ්ඩායමත් රාජස්තාන් රෝයල්ස් පිලත් අතර මේ මස 20 වැනිදා පැවැත්වෙන තරගය ඉවත් කර නොගන්නේ නම් තමන් ක්‍රීඩාංගණයට නාගයින් ගෙනැවිත් දමන බවයි. 

“මම ක්‍රීඩාංගණයට නාගයින් ගෙනැවිත් දමනවා” යයි දේශපාලන පක්‍ෂ සාමාජිකයකු වන ටී. වෙල්මුරුගන් මහතා කියා තිබිණ. 

“අපි මේ ක්‍රීඩාංගණයට ගෙනැවිත් දමන නාගයින් විෂ රහිත එවුන්. අපේ අරමුණ කාටවත් දෂ්ඨ කරවන්න නෙමේ. ඒ කියන්නේ ක්‍රීඩකයන්ටවත්, ප්‍රේක්‍ෂකයන්ටවත් නැත්නම් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ටවත් දෂ්ඨ කරවන්න නෙමේ......අපට ඕනෑ කරන්නේ ඔවුන් බියවැද්දීමටයි. පළවා හැරීමටයි.....මේ වෙලාවේ මෙතැනට ක්‍රිකට් තරග ඕනෑ නෑ” යයිද වෙල්මුරුගන් මහතා කීවේය. 

නියඟයෙන් බැටකන තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අතර කාවේරි ගංගාවේ ජලය බෙදීයාම සම්බන්ධයෙන් ගිවිසුමක් ඇතිකරගෙන තිබේ. මෙම ගිවිසුමට දිගින් දිගටම විරෝධතා එල්ල වෙයි. 

චෙන්නායි පිල වසර දෙකක තහනමකට ලක්ව සිටි සමයේදී චෙන්නායි පිලේ වීරයන් වූ නායක මහේන්ද්‍ර සිං දෝනි සහ පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් පූනේ සුපර් ජයන්ට්ස් පිල නියෝජනය කළහ. එහෙත් චෙන්නායි පිල තහනමෙන් මිදීම හේතුවෙන් දෝනි මෙන්ම පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින්ද නැවතත් චෙන්නායි පිලට එක්ව සිටිති. 

 


අදහස් (0)

නාගයින්ට බියෙන් චෙන්නායි තරග පූනේට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.