Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner නිෂාන් පීරිස් ටෙස්ට් සංචිතයට

නිෂාන් පීරිස් ටෙස්ට් සංචිතයට

Nisanka Sandeepani - 2018 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා අද (20 වැනිදා) දිවයිනෙන් පිටත්ව යන අකිල ධනංජයගේ හිඩැස පිරවීමට පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 

තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති 21 හැවිරිදි නිෂාන්, මේ වන විට පළමු පෙළ තරග 12 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 38 කි. ඊට ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් සහ 4 බැගින් දවාගත් අවස්ථා 2 ක්ද ඇතුළත් වේ. 

නිෂාන්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 29.52 ක අගයක් ගන්නා අතර ලකුණු 67 කට කඩුලු 6 ක් දවාගැනීම ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසද, ලකුණු 178 කට කඩුලු 7 ක් දවාගැනීම තරගයක හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වේ. 2016 වසරේදී බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට අවතීර්ණ වූ නිෂාන්, වර්ථමානයේදී රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්තර් සමාජ තරගවලට ක්‍රීඩා කරයි. 

එංගලන්තයට එරෙහිව පැවැති මුල් තරග දෙකටම සහභාගී නොවූ චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ද සංචිතයේ සිටින බැවින් ටෙස්ට් සංචිතයට ඇතුළත් කෙරුනද තෙවැනි ටෙස්ට් තරගයේදී නිෂාන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම අවිනිශ්චිතය. තෙවැනි ටෙස්ට් තරගය 23 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර දින 14 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඔහුට නියම කළේය. ඒ අනුව අද  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන අකිල, ලබන 23 වැනිදා බි්‍රස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී එම පරීක්ෂණයට පෙනී සිටීමට නියමිතය. 


අදහස් (0)

නිෂාන් පීරිස් ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.