Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පරාජයේ වාඩුව ගැනීම ගැන ෆෆ්ගෙන් ඉඟියක්

පරාජයේ වාඩුව ගැනීම ගැන ෆෆ්ගෙන් ඉඟියක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර තරගාවලිය 2-0 ක් ලෙසින් පරාජය වූ නමුත් ලබන වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පැමිණි පසු මෙම පරාජයේ වාඩුව ගන්නා බව දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසිස් ඉඟි කරයි. කොළඹ එස්.එස්.සී. පිටියේදී අද ලැබූ ලකුණු 199 ක පරාජයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායකයා එසේ ඉඟි කර සිටියේය.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ දකුණු අප්‍රිකානු සංචාරයේදී ලැබෙන තණතීරු කොයි වගේ වේවිද ?” යයි දකුණු අප්‍රිකානු නායකයාගෙන් කළ විමසීමේදී “ගොඩාක් දඟ කැවෙන, වියළි තණතීරු” යයි කියමින් ෆෆ් ඩු ප්ලෙසි මහ හඬින් සිනාසුනේය. පසුව ඔහු ඉතා අවංකව සිය අදහස් ප්‍රකාශ කළේය.

“නෑ...ඒක හරිම පැහැදිළියි....මේ කාලයේ සියලුම කණ්ඩායම් තමන්ට තරගයක් ජයගන්න තියෙන අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා.

“අපේ පැත්තෙන් බැලුවාම ඒක (තණතීරු) පසුගිය වතාවේ ඔවුන් එහි ගිය අවස්ථාවේ ලැබුණ තණතීරු වගේම වේවි....දඟ පන්දුව එහි තීරණාත්මක සාධකයක් නෙමෙයි. ඒත් අපට ඉතාමත් හොඳ වේග පන්දු බලඇණියක් ඉන්නවා. ඒ නිසා තණතීරුවල වේගය මෙන්ම පන්දුවේ ඉපිළීමත් හොඳින් තියේවි” යයි කී දකුණු අප්‍රිකානු නායකයා..

“පිතිකරු අංශයෙන් බැලුවාම වුණත් ඒ වගේ තත්ත්වයන් එක්ක පන්දුවට පහර දීම අපට වඩාත් පහසුයි..ඒ නිසා ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩායම) පසුගිය අවස්ථාවේදී එහි ගිය වෙලාවේ ලැබුණ තණතීරු වගේම තණතීරු ලැබේවි...ඒක හිනාවෙන්න කාරණාවක් නෙමේ” යයිද පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2016 දෙසැම්බර් මාසයේ දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේදීත් 3-0 ක තරගවලි පරාජයක් අත්කර ගත්තේය. පෝර්ට් එළිසබෙත්, කේප් ටවුන් සහ ජොහැන්නස්බර්ග් නගර තුනේදී එම තරග පැවැත්විණ. මෙම නගර තුනේම තරමක් සිසිල් දේශගුණයක් පවතින අතර එවන් තත්ත්වයන් වේග පන්දු යවන්නන්ට ඉතාමත් හිතකර පරිසරයක් නිර්මාණය කරයි.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී ජයගත් එකම ටෙස්ට් තරගය (2012 දී) පැවැතියේ ඝර්ම කලාපීය දේශගුණයකට බෙහෙවින් සමාන තත්ත්වයක් ඇති ඩර්බන් නුවරදීය.

මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී ගාල්ලේ ටෙස්ට් තරගය මෙන්ම එස්.එස්.සී. ටෙස්ට් තරගයද පරාජය වූවත් දකුණු අප්‍රිකානු නායකයා ඒ ගැන ළත නොවෙයි. ආසියානු කලාපයේදී දඟ පන්දුවට මුහුණදීම ගෝලීය අභියෝගයක් බව ෆෆ් ඩු ප්ලෙසිගේ අදහසයි.

“මේක ගෝලීය අභියෝගයක්”

“ආසියානු උප මහාද්වීපයට ලෝකයේ කොතැනින් ආවත්, මා කියන්නේ ඕස්ටේ්‍රලියාව, එංගලන්තය නැත්නම් අපි, ඔවුන් දඟ පන්දුවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රධාන ප්‍රශ්නය. අප උත්සාහ කරන්නේ ඒ තත්ත්වය වැඩි දියුණු කරගන්නයි.”

“මා කියන්නේ අප දුර්වල අන්දමින් දඟ පන්දුවට මුහුණ දෙනවා කියන එක නෙමේ. ඒත් අපේ අයත්, ආසියානු උප මහාද්වීපයේ පිතිකරුවනුත් සංසන්දනය කරනවා නම්  ආසියානුවන් අපට වඩා පියවරක් දෙකක් ඉදිරියෙන් ඉන්නවා......ඒත් තණකොළ සහිත පන්දුව දෝලනය වන තණතීරු මතදී නම් මා හිතන්නේ ඉතා ඉක්මනින් එතැන තියෙන ගනුදෙනුව බේරා ගන්න අපේ අයට පුළුවන්” යයිද ඩු ප්ලෙසි පැවසීය.

මෙවර තරගාවලියට මුහුණ දුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතුරින් ශතකයක් ලබාගත්තේ එස්. එස්.සී තරගයට ක්‍රීඩා කළ තියුනිස් ඩි බෘයින් පමණි. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් වාර්තා වූ අනෙක් එකම අර්ධ ශතකයට (63) ටෙම්බා බවුමා හිමිකම් කීවේය.

දකුණු අප්‍රිකානු පිලේ ඉදරි පෙළ පිතිකරුවන් වන ක්වින්ටින් ඩි කොක් (53), ඩීන් එල්ගා (49), ඒඞ්න් මාක්රම් (40) සහ හසිම් අම්ලා (40) යන සිවුදෙනාටම ඉනිම හතරකදී ලබාගත් ලකුණු වල එකතුව 60 ඉක්මවිය නොහැකි විය. බිඳ වැටුණු දකුණු අප්‍රිකානු කඩුලු 40 න් 37 ක්ම දවාගන්නා ලද්දේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් විසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ මුල් භාගයේදී දකුණු අප්‍රිකාවේ පූර්ණ තරගවලියකට සහභාගි වෙයි. ඊට ටෙස්ට් තරග දෙකක්. එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරග 3 ක් ඇතුළත් වෙයි. එය මාස දෙකක් පුරා පවතින තරගාවලියකි.

 


අදහස් (0)

පරාජයේ වාඩුව ගැනීම ගැන ෆෆ්ගෙන් ඉඟියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.