Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පළමු දිනයේ කඩුලූ 15 ක් බිඳ වැටෙයි

පළමු දිනයේ කඩුලූ 15 ක් බිඳ වැටෙයි

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වෙලින්ටන් නුවර බේසින් රිසර්ව් තණතීරුවේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරා ගනිමින් සිය පන්දු යවන්නන්ගෙන් උපරිම ඵල නෙලා ගත් නායක ඇන්ජලෝ මැතිව්ස්, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ තේ පානයෙන් මොහොතකට පසුව ප‍්‍රතිවාදී පිල ලකුණු 221 කදී නතර කළේය.

එහෙත් ආපසු හැරී පහර දුන් නවසීලන්ත පන්දු යවන්නෝ දිනයේ කී‍්‍රඩාව අවසන් වන විට ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ 5 ක් ලකුණු 78 ක් තුළදී බිම දැමූහ.
 
ඒ අතරවාරයේදී කුමාර් සංගක්කාර සිය ටෙස්ට් ලකුණු 12,000 සීමාව පසුකර යමින් නොදැවී ලකුණු 33 ක් ලබා තණතීරුවේ ඇලී සිටියේය. නවසීලන්ත පන්දු යවන්නන්ට මේච්චල් කරගත නොහැකි වූ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා වූයේ සංගක්කාර පමණි.

දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදීමට නොපිවිසි අතර ඔහු හෙට පෙරවරුවේදී පිටියට පිවිසෙනු ඇත.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලූ 2 ක් පමණක් දැවී ලකුණු 93 ක් ලබා සිටි නවසීලන්ත පිලේ යේ නායක බ්‍රෙන්ඩන් මැකලම් ඇතුළු මැදපෙළ පිතිකරුවන් 5 ක් තේ පානයට පෙර ලකුණු 99 ක් තළ බිඳ දැමූ ශී‍්‍ර ලංකා වේගපන්දු යවන්නෝ තේ පානයෙන් අනතුරුව ඉතිරි පිතිකරුවන් තිදෙනාද අපසු කී‍්‍රඩාගාරයට යැවූහ.

දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ ක‍්‍රයිස්චර්ච් හී පැවැති පළමු ටෙස්ට් තරගයේ දී විශිෂ්ට පිතිහරඹයක නිරතව වාර්තාගත ලකුණු 195 ක් රැස් කළ නායක මැකලම් ලකුණු රැස් කිරීමටත් පෙර දවාලීමට සුරංග ලක්මාල් සමත්වීමයි.  ඔහු දැවී ගියේ ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

එක් අන්තයකින් පිතිකරුවන් වරින් වර දැවීයද්දී තම කඩුල්ල රැක ගනිමින් හුදෙකලා සටනක නිරතවූ කේන් විලියම්සන් ලකුණු 69 ක් ලබා සිටියදී ධම්මික ප‍්‍රසාද්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර තේ පානය වනවිට නවසීලන්ත ඉනිම දිස්වූයේ කඩුලූ 7 කට ලකුණු 192 ක් ලෙසිනි.

තේ පානයෙන් පසු ලක්මාල් යැවූ පළමු  ඕවරයේ දීම මාක් ක්‍රෙග් දැවී ගිය අතර ඊළඟ ඕවරයේ ටිම් සවුති දවාලමින් නවසීලන්ත ඉනිමේ සිය සිවුවැනි කඩුල්ල අත්කර ගැනීමට නුවන් ප‍්‍රදීප් සමත්විය. අනතුරුව ටෙ‍්‍රන්ට් බෝල්ට් හා ඩග් බ්‍රේස්වේල් එක්ව අවසන් කඩුල්ලට ලකුණු 26 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.

නවසීලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 62 ක් ව තිබියදී දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව කේන් විලියම්සන් හා රෝස් ටේලර් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර නවසීලන්ත ඉනිමේ වාර්තා වූ හොඳම සම්බන්ධතාව එය විය.  

තරගමාලාව පුරා ලකුණු අතර නොසිටි නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලේතම් නැවත වාරයක් අසාර්ථක පිතිහරඹයක නිරතවූ අතර ඔහු දැවී ගියේ ලකුණු 6 කටය. පළමු ටෙස්ට් තරගයට වඩා තරමක විශ්වාසනීයත්වයක් පෙන්නුම් කළ අනික් ආරම්භක පිතිකරු හමීෂ් රදර්ෆර්ඞ් ලකුණු 37 ක් ලබාගත්තේය. ලේතම්ගේ කඩුල්ල සුරංග ලක්මාල්ට හිමිවූ අතර රදර්ෆර්ඞ්ගේ කඩුල්ලට හිමිකම් කීවේ ෂාමින්ද එරංග වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට එක්වූ නුවන් ප‍්‍රදීප්ය. දෙදෙනාම දැවී ගියේ කඩුලූ රකින ප‍්‍රසන්න ජයවර්ධනට උඩපන්දු ලබාදීමෙනි.

දෙවැනි ටෙස්ට් තරගයේ දී ශී‍්‍ර ලංකා පිලේ වෙනස්කම් 3 ක් සිදුකොට තිබිණි. රංගන හේරත් යළි කණ්ඩායමට එක්වීමෙන් පළමු තරගයේ දී ටෙස්ට් වරම් ලැබූ තරිඳු කෞෂාල්ට සිය ස්ථානය අහිමිවූ අතර නිරෝෂන් දික්වැල්ල වෙනුවට දිනේෂ් චන්දිමාල්ද, ෂාමින්ද එරංග වෙනුවට නුවන් ප‍්‍රදීප් ද කණ්ඩායමට ඇතුළත් වූහ.

නවසීලන්ත පිලේ සිදුවූ එකම වෙනස්කම වූයේ වේගපන්දු යවන නීල් වැග්නර් වෙනුවට කලෙකට පසුව ඩග් බ්‍රේස්වේල් කණ්ඩායමට එක්වීමය.

 

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)


අදහස් (0)

පළමු දිනයේ කඩුලූ 15 ක් බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.