Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශහීන් අෆ්රඩිගේ දක්ෂ පන්දු යැවීම සහ ෆකාර් සමාන්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් නවසීලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමටද පාකිස්තාන කණ්ඩායමට හැකි විය. ඒ අනුව දෙරට අතර හෙට (11 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගය අවසන් මහ තරගයක ස්වරූපයක ගනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 40.3 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 88 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 88 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 54 ක් වන විට සෙසු ආරම්භක පිතිකරු ඉමාම් උල් හක්, පන්දුව හිසේ වැදීම නිසා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි බාබර් අසාම් සමග එක්ව ලකුණු 101 ක සම්බන්ධතාවක් පැවැත්වූ ෆකාර් සමාන් කෙමෙන් කෙමෙන් පාකිස්තාන ඉනිම ගොඩනැගුවේය.

පන්දු 50 කදී හතරේ පහර 5 ක් ලකුණු 46 ක් ලබා සිටි බාබර් අසාම්, ලොකී ෆර්ගියුසන්ගේ පන්දුවක් හමුවේ හෙන්රි නිකලස් අතට උඩ පන්දුවක් දෙමින් අර්ධ ශතකය පෙනි පෙනී පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 31 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස්කළ මොහොමඞ් හෆීස් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 209 කට සීමා කිරීමට ශහීන් අෆ්රිඩි ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශහීන් අෆ්රිඩි නිලකුණු ඕවරයක්ද සමගින් සිය ඕවර 9 ලකුණු 38 කට සීමා කළේ කඩුලු 4 ක්ද දවාගනිමිනි.

නවසීලන්ත පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා අෆ්රිඩිට අනගි සහායක් දුන් හසන් අලී ලකුණු 59 කට කඩුලු 2 ක් දවාගත්තේය.

නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගනිමින් නොදැවී පන්දුවට පහරදුන් රොස් ටේලර්, පන්දු 120 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 86 ක් ලබාගත්තේය. ලකුණු 73 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී හෙන්රි නිකලස් (33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටේලර් සමත් විය. පන්දු 63 කට මුහුණදුන් නිකලස්ගේ ඉනිමට එක් හතරේ පහරක් ඇතුළත් විය.


නවසීලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 209  
(ජෝජ් වෝකර් 28, රොස් ටේලර් නොදැවී 86, හෙන්රි නිකලස් 33, ශහීන් අෆ්රිඩි 38/4, හසන් අලී 59/2)

පාකිස්තානය - ඕවර 40.3 කදී කඩුලු 4 ක් දැවී 212  
(ඉමාම් උල් හක් 16, ෆකාර් සමාන් 88, බාබර් අසාම් 46, මොහොමඞ් හීස් නොදැවී 27, ලොකී ෆර්ගියුසන් 60/2)


-036

 


අදහස් (0)

පාකිස්තානුවෝ එක්දින තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.