Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය ලකුණු 135 ක් පසුපසින්

පාකිස්තානය ලකුණු 135 ක් පසුපසින්

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා ලකුණු 135 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට අසාර් අලී ලකුණු 62 ක්ද, අසාද් ෂෆීක් ලකුණු 26 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක ටේ‍රන්ට් බෝල්ට් සමත් විය. යැවූ පළමු ඕවරයේදීම මොහොමඞ් හෆීස් ලකුණු ලබාගැනීමට පෙර දවාගත් බෝල්ට්, ඉන් ඕවර 4 කට පසුව ඉමාම් උල් හක්ගේ ඉනිමද ලකුණු 9 කට සීමා කළේය.

එතැන් පටන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට අසාර් අලී (නොදැවී 62) සහ හාරිස් සොහේල් (34) සමත් වූහ. එහෙත් ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක බී.ජේ. වොට්ලින් අතට උඩ පන්දුවක් දෙමින් සොහේල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

අසාර් අලී සිය 32 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේ හතරේ පහර 4 ක් සමගිනි. අසාද් ෂෆීක් (නොදැවී 26) සමග එක්ව පාකිස්තාන ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද අලී සමත් විය. ෂෆීක් ඉනිමද හතරේ පහර 4 කින් සමන්විත විය.

පළමු දිනය වූ ඊයේ (3 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී (4 වැනිදා) සිය පළමු ඉනිමට එක්කර ගත හැකි වූයේ තවත් ලකුණු 45 ක් පමණි. අද දිනයේදී බිඳවැටුණ කඩුලු 3 ටම හිමිකම් කී බිලාල් අසීෆ්, පළමු ඉනිමේදී තමා දවාගත් කඩුලු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ දමාගත්තේය.

නවසීලන්ත ඉනිම නිමාවට පත්වන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් බී.ජේ. වොට්ලින් හතරේ පහර 4 ක් සමග ලකුණු 77 ක් රැස්කළේ පන්දු 250 කට මුහුණ දෙමිනි. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන විලියම් සමර්විල් (12) සමග එක්ව නවසීලන්ත කණ්ඩායමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වොට්ලින් සමත් විය.

නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(ජීත් රාවල් 45, කේන් විලියම්සන් 89, බී.ජේ. වොට්ලින් නොදැවී 77, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 20, බිලාල් අසීෆ් 65/5, යසීර් ෂා 75/3)

පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 139  
(අසාර් අලී නොදැවී 62, හාරිස් සොහෝල් 34, අසාද් ෂෆීක් නොදැවී 26, ටේ‍රන්ට් බෝල්ට් 39/2)

-036

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 135 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.