Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී

පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී

Nisanka Sandeepani - 2017 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉමාම් උල් හක්ගේ (100) පිතිහරඹයත් හසන් අලීගේ (34/5) පන්දු යැවීමත් හමුවේ අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකරගත් පාකිස්තානය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදිම තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 42.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී එම ඉලක්කය පසුකර යෑමට සමත් වූහ. සිය මංගල තරගයට ක්‍රීඩා කළ ඉමාම් උල් හක් පන්දු 124 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමග මංගල එක්දින ශතකය වාර්තා කරමින් එවන් දස්කමක් දැක්වූ දෙවැනි පාකිස්තානුවා ලෙස වාර්තා අතරට එක් විය.

ශතකය ලබාගැනීමෙන් අනතුරුව මුහුණදුන් පළමු පන්දුවේදීම තිසර පෙරේරාගේ ගොදුරක් බවට පත්වෙමින් නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය. ලකුණු 89 ක් ලබා සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලබා දුන් උඩපන්දුව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යාම හේතුවෙන් ඉමාම්ට මංගල ශතකය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවිය.

ජේෆ්රී වැන්ඩසේගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල ලෙස ස්ටම්ප් කිරීමකට හසුව දැවීයන විට ෆකාර් සමාන් ලකුණු 29 ක් ලබා සිටි අතර ඉමාම් උල් හක් සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා පන්දු 101 කදී ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔහු සමත් විය.

පළමු සහ දෙවැනි තරග දෙකේදී පිට පිට ශතක ලබාගත් බාබර් අසාම් ලකුණු 30 කට දවාගැනීමට ළහිරු ගමගේ සමත් විය. ඉමාම් උල් හක් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අසාම්ට, ළහිරු ගමගේ එවූ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වෙත ඇදී ඒම නිසා පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

හසන් අලීගේ විශිෂ්ට පන්දු යැවීමත් ශ්‍රී ලංකා පිතිකරණ අනුපිළිවෙලේ ඇති දුර්වලතාවයත් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 48.2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 208 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 59 ක් එක්වන විට හසන් අලීගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වෙත පැමිණිම හේතුවෙන් ලකුණු 18 ක් ලබාසිටි නිරෝෂන් දික්වැල්ල ආපසු ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවිය.
 
දිනේෂ් චන්දිමාල් ලකුණු 17 ක් ලබාසිටියදී 25 වැනි ඕවරය යැවූ ශාඩාබ් ඛාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරුවරයා විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමත් සමග විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමට පාකිස්තාන නායක සර්ෆ්‍රාස් අහ්මඞ් තීරණය කළේය. පුනරූපණ නැරඹීමේදී පා ආවරණයේ පන්දුව වැදීමට ප්‍රථම අත් ආවරණයේ පන්දුව වදින ආකාරයක් දිස්වීම හේතුවෙන් තෙවැනි විනිසුරුවරයා විසින් චන්දිමාල් නොදැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කරනු ලැබීය. එම නිසා පාකිස්තානය සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවද අහිමිවී ගියේය.

නැවත වතාවක් ශාඩාබ් ඛාන්ගේ පන්දුවක් පාදයේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් කඩුල්ල මුවා කළේ යැයි පාකිස්තාන ක්‍රීඩකයන් කළ ඉල්ලීමක් පිළිගත් ප්‍රධාන විනිසුරුවරයා ඔහු දැවීගිය බවට තීරණය කළේය. ඉන් පසු අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි නායක උපුල් තරංගගෙන් වැඩිදුරටත් විමසා විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට චන්දිමාල් තීරණය කළේය. ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය සමග එකඟවූ තෙවැනි විනිසරුවරයාද චන්දිමාල් දැවී ගිය බවට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකාව සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ අවස්ථාව අහිමිවී ගියේය.

දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග දෙවැනි කඩුල්ල සදහා පන්දු 86 කදී ලකුණු 43 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 54 කදී පළමු ලකුණු 50 වාර්තා කළද ඉන්පසු ලකුණු 100 කරා යෑමේදී ඉතිරි ලකුණු 50 ලබාගැනීමට පන්දු 91 ක් වැය විය. සිය 35 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 58 කදී රැස්කළ උපුල් තරංග ලකුණු 61 කට දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 112 ක් විය.

පිතිකරණ ලැයිස්තුවේ උසස්විමක් ලැබ ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදිම සදහා පිටියට පිවිසි චාමර කපුගෙදර ලකුණු 18 ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් කිරීමට හසන් අලී සමත්වූ අතර යළිත් අසාර්ථක පිතිහරඹයක නිරත වූ මිලින්ද සිරිවර්ධන පිටියෙන් ඉවත් කිරීමට ජුනයිඞ් ඛාන් සමත් විය.

පසුගිය තරග දෙකේදී සාර්ථක පිතිහරඹයක නිරත වූ ජෙෆ්රී වැන්ඩසේ පිතිකරණ ලැයිස්තුවේ උසස්විමක් ලබා මැදපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසියද හසන් අලීගේ පන්දුවක් හමුවේ ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 141 කට කඩුලු 6 ක් ලෙස දිස්විය.

පිත්තේ වැදුණු පන්දුව පසු පාදයේ සපත්තුවේ වැදී උඩපන්දුවක් ලෙස කඩුලු රකින්නා වෙත ඇදී යාම හේතුවෙන් ඉතා අවසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වන්නට ලකුණු 28 ක් ලබා සිටි ළහිරු තිරිමාන්නට සිදුවිය.

අඩුම තරග සංඛ්‍යාවකදී කඩුලු 50 ක් දවාගනිමින් වකාර් යුනිස් පාකිස්තානය වෙනුවෙන් තබා තිබූ වර්තාව බිඳ හෙළීමට මෙම තරගයේදී හසන් අලී සමත් විය. සිය 24 වැනි එක්දින තරගයේදී අකිල ධනංජය දවාගනිමින් හසන් අලී, වකාර් යුනිස්ගේ වාර්තාව බිඳහෙළු අතර ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීය.

ලකුණු 163 කට කඩුලු 8 ක් දැවී තිබියදී නවවැනි කඩුල්ල සදහා පන්දු 28 කදී ලකුණු 42 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ තිසර පෙරේරා සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත් වූහ. වේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා ලකුණු 38 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවෙමින් ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය.

 

 


අදහස් (0)

පාකිස්තානය එක්දින තරගාවලිය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.