Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සියලු බලාපොරොත්තු අවසන් විය. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල පරාජය කරමින් කඩුලු 9 ක දැවැන්ත ජයක් ලබාගත් පාකිස්තානුවෝ 5-0 ක තරගාවලි ජයක් වාර්තා කළහ.
ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම 12 වැනි එක්දින පරාජය අත්වින්ඳේය. ශ්‍රී ලංකා කණ්ඩායමක් පිට පිටම එක්දින තරගාවලි දෙකකදී 5-0 ක් ලෙසින් පරාජය වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මේ වසරේදී අත්විඳි තුන්වැනි 5-0 තරගාවලි පරාජයයි. මේ වසර මුලදී දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම 5-0 ක තරගාවලි පරාජයක් ලැබීය.
ලකුණු 104 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු පිතිකරුවෝ කිසිදු අපහසුතාවකින් තොරව ඕවර 20.2 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105 ක් ලබාගත්හ. පන්දු 47 කින් 7 ක් හතරේ සීමාවට යැවූ ෆකර් සමාන් අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් නොදැවී ලකුණු 45 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 26.2 ක් අවසානයේ ලකුණු 103 කට දැවී ගියේය. පළමු ඕවරයේ සිටම ශ්‍රී ලංකා පිල විනාශ කර දැමූ උස්මාන් ඛාන් ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගත් අතර තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමූ හසන් අලී සහ ශදාබ් ඛාන් ඉතිරි කඩුලු හතර බෙදාගත්හ.
මොහොමඞ් අමීර් තුවාල ලැබීම නිසා කණ්ඩායමට එක්වෙමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වමත් වේග පන්දු යවන්නා ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල බිඳ හෙළන විට යවා තිබුණේ පන්දු 21 ක් පමණි. එය එක්දින තරගයකදී අඩුම පන්දු සංඛ්‍යාවකින් කඩුලු 5 ක් දවාගත් අවස්ථා අතරේ දෙවැනි ස්ථානයට පත්වෙයි. එහි වාර්තාවට හිමිකම් කියන්නේ 2003 ලෝක කුසලාන තරගයකදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 16 කදී කඩුලු 5 ක් දවාගත් චමින්ද වාස්ය.
පිතිකරු ලැයිස්තුවේ වෙනසක් කරමින් නායක උපුල් තරංග සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා සධීර සමරවික්‍රම පිටියට පිවිසි අතර ඔහුට මුහුණදිය හැකි වූයේ පන්දු 3 කට පමණි. උස්මාන් ඛාන්ගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල වෙතට ඇදී ඒම නිසා සධීරට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය. අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ගේ ඉනිමද එක් පන්දුවකට සීමා කිරීමට උස්මාන් සමත් විය. පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ්ගේ දෑත් අතර සිරවීමත් සමග චන්දිමාල්ටද ආ පයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත පියමං කිරීමට සිදුවිය.
සිය දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවෙදී ලකුණු 8 ක් ලබා සිටි උපුල් තරංගගේ කඩුල්ල බිඳ දැමූ උස්මාන්, එම ඕවරයේම පස්වැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් නිරෝෂන් දික්වැල්ලද පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. පන්දු 2 කට පමණක් මුහුණදුන් දික්වැල්ල, පිටියෙන් ඉවත්ව ගියේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය තෙවැනි පිතිකරුවා ලෙසිනි.
මුලු ලකුණු සංඛ්‍යාව 20 ක් වන විට උස්මාන් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෆකාර් සමාන් අතට පහසු උඩ පන්දුවක් දෙමින් මිලින්ද සිරිවර්ධන (6) දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට පස්වැනි කඩුල්ලත් අහිමි කරමිනි.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී ඕවර 13 ක් පුරා එක් අන්තයක් රැකගනිමින් ඉතා ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහරදුන් ළහිරු තිරිමාන්න දවාගැනීමට තරගාවලියේ සාර්ථකම පන්දුයවන්නා බවට පත්ව සිටින හසන් අලී සමත් විය. ලකුණු 19 ක් ලබා සිටි තිරිමාන්න දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමිනි.
ලකුණු 16 ක් ලබා සිටි සීක්කුගේ ප්‍රසන්න දුවද්දී දවාගැනීමකට හසුකර ගත් ශදාබ් ඛාන්, ඉන් අනතුරුව සිය දඟ පන්දුව උපයෝගී කරගනිමින් එකම ඕවරයක් තුළදී තිසර පෙරේරා (25) සහ ජෙෆ්රි වැන්ඩසේද (2) පිටියෙන් ඉවත් කළේය. ෆාහිම් අෂ්රෆ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් අලංකාර කර තිබිණ.
දුෂ්මන්ත චමීරගේ කඩුල්ලත් සමගින් ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලියේදී අලී දවාගත් කඩුලු සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගියේය. සදාබ් ඛාන් දවාගත් කඩුලු සංඛ්‍යාව 10 කි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අසාර්ථක වෙද්දී පන්දු යවන්නන් මාරු කර තිබිණ. අද තරගය සඳහා අකිල ධනංජය වෙනුවට ජෙෆ්රි වැන්ඩසේද, ළහිරු ගමගේ වෙනුවට විශ්ව ප්‍රනාන්දුද, සුරංග ලක්මාල් වෙනුවට දුෂ්මන්ත චමීරද කණ්ඩායමට කැඳවා සිටියහ.
මේ වන විට පාකිස්තාන කණ්ඩායම පිට පිටම එක්දින තරග 8 ක් ජයගෙන සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩාවයම පිට පිටම එක්දින තරග 11 ක් පරාජයට පත්ව සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.