Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානුවෝ බලය පෙන්වති

පාකිස්තානුවෝ බලය පෙන්වති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලෝකයේ අංක 2 කණ්ඩායම වශයෙන් තමන් සතු කීර්තිය මැනවින් ආරක්‍ෂා කරගත් පාකිස්තානුවෝ අබුඩාබියේ ෂෙයික් සයීඞ් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු හතක ජයක් අත්පත් කරගත්හ. ලකුණු 103 ක පහසු ඉලක්කයක් කරා ගිය පාකිස්තානු කණ්ඩායම ඕවර 17.2 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ වූයේය.

ලකුණු 18 ක් වෙද්දී පාකිස්තානු පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීමට විකුම් සංජය සහ සචිත් පතිරණ සමත්වූ නමුත් පන්දු 38 කදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක් එක්කළ අහමඞ් ශෙෂාඞ් සහ ෂොයිබ් මලික් දෙදෙනා පාකිස්තානු පිල ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ. පන්දු 31 කදී නොදැවී ලකුණු 41 ක් ලබාගත් ෂොයිබ් මලික් සහ මෙහොමඞ් හෆීස් එක්ව පාකිස්තානු පිල ජයටැඹ පසුකරන තුරුත් පිටියේ රැඳී සිටියහ. පිට දඟ පන්දු යවමින් එකම ඕවරයකදී කඩුලු දෙකක් දවාගෙන ශ්‍රී ලංකා පිල අයසට ඇද දැමූ මොහොමඞ් හෆීස් පන්දු 23 කදී නොදැවී ලකුණු 25 ක්ද ලබාගනිමින් සිය කාර්යය අකුරටම ඉටුකළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි ඕවරයේදී අවසානයේදී කඩුලු 3 කට ලකුණු 58 ක් ලබා සිටි නමුත් අවසන් කඩුලු 8 ම ලකුණු 44 කට අහිමි කරගත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට මුහුණ දිය හැකිවූයේ ඕවර 18.3 කට පමණි.

ඇතැම් අවස්ථාවන්හිදී පැයට කිලෝ මීටර 140 ඉක්මවන වේගයකින් පන්දු යැවූ උස්මන් ඛාන් පිතිකරුවන් අන්දමන්ද කිරීමට සමත් වූයේය. එසේ වුවත් එක්දින තරගාවලියේ දක්නට නොලැබුණු ආක්‍රමණශීලීත්වය කණ්ඩායමට ගෙන ආ ධනුෂ්ක ගුණතිලක පන්දු 11 කදී ලකුණු 18 ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ආත්ම ධෙර්යය වැඩි කරමිනි. ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර පන්දු 3 කට මුහුණ දීමෙන් පසුව ලකුණු නොලබා දැවී ගියද ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 19 කදී ලකුණු 28 ක් රැස්කළහ.

 ලකුණු හඹායාම සිය අරමුණ කරගත් ධනුෂ්ක දැවීයාමෙන් පසුව සධීර සමරවික්‍රම සහ අෂාන් ප්‍රියන්ජන් එක්ව ලකුණු 50 න් ඔබ්බට කණ්ඩායම කැඳවාගෙන ගියද තියුණු ලෙසින් කඩුල්ල තුළට ඇදී ආ පන්දුවකින් සමරවික්‍රමගේ ඉනිම අවසන් විය.

සුපුරුදු පරිදි වේග පන්දු යවන්නන් නතර කළ තැනින් පාකිස්තානු දඟ පන්දු යවන්නෝ කඩුලු දවාගැනීම ආරම්භ කළහ. එක්දින තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ සදාබ් ඛාන් සිය දෙවැනි ඕවරයේදී අෂාන් ප්‍රියන්ජන්ගේ ඉනිම අවසන් කළේ ශ්‍රී ලංකා ඉනිමේ විනාශයට පාර කපමිනි. ඊළඟ ඕවරයේදී පන්දුව අතට ගත් මොහොමඞ් හෆීස් එකම ලකුණක් හෝ ලබාගැනීමට අවසර නොදීම මහේල උඩවත්ත සහ දසුන් ශානක දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවීය.

ලකුණු වේගය පහත බැසීමේ පීඩනයට හසුවූ පසුපෙළ පිතිකරුවන් අසරණ වෙද්දී සීක්කුගේ ප්‍රසන්න නොබියව ඉදිරියට එමින් ලකුණු 23 ක් ලබාගත් හෙයින් ශ්‍රී ලංකා පිලට යන්තම් ලකුණු 100 කඩයිම පසුකර යා හැකිවිය. එහෙත් විස්සයි-20 තරගයකදී එය කිසිසේත්ම ආරක්‍ෂාකාරී ලකුණු සංඛ්‍යාවක් නොවේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි විස්සයි-20 තරග හෙට (27 වැනිදා) අබුඩාබිහිදීම පැවැත්වේ.

 


අදහස් (0)

පාකිස්තානුවෝ බලය පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.