Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානුවෝ ලාහෝර් මංගල්‍යයට සැරසෙති

පාකිස්තානුවෝ ලාහෝර් මංගල්‍යයට සැරසෙති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලාහෝර් නරගරයේ සුපුරුදු කලබලකාරීත්වය තරමක් සමනය වී තිබේ. දහස් ගණන් ආරක්‍ෂක භටයෝ ලාහෝර් නුවරට ඇදී එමින් සිටිති. ඉරිදා (29 වැනිදා) වන විට ලාහෝර් නුවරම ආරක්‍ෂක නිලධාරීන්ගෙන් පිරී යනු ඇත.

1996 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය නැරඹීමේ බලාපොරොත්තුවෙන්, මහත් උද්දාමයෙන් යුතුව, ගුවන් යානයක් පුරා ලාහෝර් ගිය ශ්‍රී ලාංකිකයෝ අද වන විට එහි යාමට අදිමදි කරති. ලාහෝර් යාමට අකමැත්තෙන් කැමති වූවන් එහි යන්නේද තමන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහතික වෙනවාද’යි දහසකුත් එකක් ප්‍රශ්න ඇසීමෙන් පසුවය.

ලාහෝරයේ ආරක්‍ෂක තත්ත්වය විමසා බලන්නට එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අද (27 වැනිදා) සවස්වරුවේදීත් ක්‍රීඩාංගණයේ තත්ත්වය පිරික්සමින් සිටියේය.

වසර 8 කට ඉහතදී නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යන අතරේ ත්‍රස්තවාදීන්ට මැදිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල කළ වෙඩි වරුසාව පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ට තවමත් හොඳින් මතක තිබේ. එහෙත් ඒ අමිහිරි මතකය පසෙක තැබූ ක්‍රීඩකයෝ 16 දෙනෙක්, පුහුණු කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් විස්සයි-20 ක්‍රිකට් තරගයක් සඳහා ලාහෝර් නුවරට යති. එම පිරිසට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සහ මාධ්‍යවේදීහු කිහිප දෙනෙක්ද ඇතුළත්ව සිටිති.

පාකිස්තානු විනිසුරුවරයකු වන අශාන් රාසා මහතා 2009 දී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීමෙන් පසුව ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන් නමුත් මෙවර ලාහෝර් තරගයට ඔහුත් පැමිණෙනු ඇත. එදා ඔහු සිටියේ ටෙස්ට් තරගයේ අතිරේක විනිසුරුවරයකු වශයෙනි. වෙඩි ප්‍රහාරයෙන් රාසා මහතාගේ පෙණහැල්ලට සහ අක්මාවට හානි සිදුවී තිබිණ.

“ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් ලාහෝරයට පැමිණෙන විට ඒ තරගය විනිශ්චය කරන්න මට ලැබුණ එක භාග්‍යයක් ලෙස මා සලකනවා. ඔවුන්ගේ මේ ගමන පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවේ නව පුනරුදයක් වේවි” යයි විනිසුරු රාසා මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට පවසා තිබිණ.

2009 ලාහෝර් ප්‍රහාරයෙන් 8 දෙනකු මියගිය අතර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් වූ තරංග පරණවිතාන, තිලාන් සමරවීර, සහ මහේල ජයවර්ධන සහ සුරංග ලක්මාල් තුවාල ලදහ.

මාස කිහිපයකට ඉහතදී සිම්බාබ්වේ කණ්ඩායමද පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියක නිරත වූ නමුත් ප්‍රධාන පෙළේ කණ්ඩායමක් පාකිස්තානයට යන පළමු අවස්ථාව මෙයයි. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය සඳහාය.

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සෙති මහතා විසින් මෙම තරගය හඳුන්වනු ලබන්නේ ‘ඓතිහාසික අවස්ථාවක්’ ලෙසිනි. මෙම ඓතිහාසික අවස්ථාවට ආරක්‍ෂාව සැලසීමට පාකිස්තානු සොල්දාදුවන් වීදි දෙපස රැකවලේ සිටියදී ගුවනින්ද නිරීක්‍ෂණ කටයුතු කෙරේ. එය රාජ්‍ය නායකයකුට ලැබෙන ආරක්‍ෂාවට සමානය.

“අපේ ක්‍රීඩාංගණ පාළුවට ගිහින් තිබුණා. අපේ පරම්පරාවක දරුවන් ලොකුමහත් වුණේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු දෑහින් දකින්නේ නැතිවයි. දැන් ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නයි යන්නේ” යයිද නජාම් සෙති මහතා ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබිණ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ආරක්‍ෂක කටයුතු සොයා බලන අතරේම විස්සයි-20 තරග තුනක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මාසයේදී ගෙන්වාගැනීමට පාකිස්තානය උත්සාහ ගනිමින් සිටී.

ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නවතම නායක තිසර පෙරේරා ඒ.එෆ්.පී. පුවත්සේවයට පවසා ඇත්තේ ලාහෝරයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් සතුටුදායක බවයි. පෙරේරා පසුගිය මාසයේදී ලෝක කණ්ඩායම වෙනුවෙන් ලාහෝරයේදී ක්‍රීඩා කළේය. මේ වන විට ලාහෝරයේ ඇත්තේ ඉරිදා පැවැත්වෙන තරගය සඳහා ප්‍රවේශපත් ලබාගැනීමේ තරගයකි. කාන්තා - පිරිමි භේදයකින් තොරව ඔව්හු ප්‍රවේශපත් සොයා යති.
 
පාකිස්තානයේ ජනප්‍රියම ක්‍රිකට් දිරිගන්වන්නා ලෙසින් සැලකෙන සුෆී ජලීල් මහතා එරට ජනප්‍රියව සිටින්නේ “චාචා ක්‍රිකට්” (ක්‍රිකට් මාමා) ලෙසිනි. පාකිස්තානු පිල සහභාගි වන තරගයක් ලොව කොතැනක තිබුණත් සුෆී ජලීල් මහතා එතැන සිටී. 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බසයට වෙඩිතබන අවස්ථාවේදීත් ඔහු ක්‍රීඩාංගණය වෙත එමින් සිටියේය.

“මම ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා”

“අතීතයේදී මොනවා වුණත් ඒවා දැන් ඉවරයි. මේ තරගය අලුත් ආරම්භයක්. ඒ සඳහා අපි සේරමලා එකමුතු වෙලායි ඉන්නේ” යයිද සුෆී ජලීල් මහතා ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා තිබිණ.

 

- අන්තර්ජාතික වාර්තා ඇසුරිනි
- සැකසුම : දමින්ද විජේසූරිය

 


අදහස් (0)

පාකිස්තානුවෝ ලාහෝර් මංගල්‍යයට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.