Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පාකිස්තානයට ලකුණු 36 ක පහසු ජයක්

පාකිස්තානයට ලකුණු 36 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලාහෝර්හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 36 කින් පරාජය කළ පාකිස්තානුවෝ විස්සයි-20 තරගාවලියේදී 3-0 ක ජයක් අත්කරගත්හ. ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

ලකුණු 181 ක  අසීරු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 10 ක් අවසානයේදී කඩුලු 4 ක් දැවී ලබා සිටියේ ලකුණු 66 ක් පමණි. ලාහෝර් තරගය ඇරඹීමටත් පෙර සිටම පාකිස්තානුවන් හමුවේ 2-0 ක් ලෙසින් විස්සයි-20 තරගාවලිය පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සීමිත ඕවර ක්‍රීඩාවේ ගෞරය රැකගැනීමට නම් ඉතිරි පන්දු 60 න් ලකුණු 115 ක් ලබාගැනීමට තිබිණ. එහෙත් එම පන්දු 60 න් ලකුණු 78 ක් පමණක් ලබාගන්නා අතරේ කඩුලු 5 ක් අහිමිකරගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හිස කෙළින් තබාගෙන පාකිස්තානු පන්දු යවන්නන්ට මුහුණ දුන්නේ දසුන් ශානක පමණි. අංක 5 පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි ශානක පන්දු 31 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමත් සමගින් ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු ඉහළ නැංවුණ නමුත් ඉමාඞ් වසිම්ගේ අගනා උඩපන්දු රැකීමකින් දැවී ගියේ පසුපෙළ පිතිකරුවන් පිටියේ තනිකරමිනි. එතැන් සිට ශ්‍රී ලංකා පිලේ ඉරණම ලියැවී තිබිණ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. ඕවර 10 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 70 ක් ලබා සිටි පාකිස්තානු පිතිකරුවෝ දෙවැනි ඕව 10 දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 110 ක් උදුරා ගත්හ.

අහමඞ් ශෙෂාඞ් වෙනුවට පැමිණි ආරම්භක පිතිකරුවා වූ උමාර් අමීන් (45) සහ ෆඛාර් සමාන් (31) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48 කදී ගොඩනැගූ ලකුණු 57 ක සම්බන්ධතාව බිඳ දැමීමට ඩිල්ෂාන් මුණවීර සමත් වූවද ඒ වන විට පාකිස්තානු පිතිකරුවෝ තමන්ගේ රිද්මයට පැමිණ සිටියහ. ශ්‍රී ලංකා නායකයා, තමන්ද ඇතුළුව ඕවර 20 ක් යැවීම සඳහා පන්දු යවන්නන් 8 දෙනකු යොදාගත් නමුත් පාකිස්තානු පිතිකරුවන් පාලනය කළ නොහැකි විය. ශ්‍රී ලංකා පිලට බරපතළම හානිය කළ පිතිකරුවා වූ ෂොයිබ් මලික් පන්දු 23 කදී සිය හයවැනි විස්සයි-20 අන්තර්ජාතික අර්ධ ශතකය ලබාගත්තේ එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් අලංකාර කරමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

 

 

ශ්‍රී ලංකා - පාකිස්තානු තෙවැනි විස්සයි20 තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)


අදහස් (0)

පාකිස්තානයට ලකුණු 36 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.