Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පීටර්සන්ගේ පොත ගෙදර තියා එංගලන්ත පිල එයි

පීටර්සන්ගේ පොත ගෙදර තියා එංගලන්ත පිල එයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

 

කෙවින් පීටර්සන්ගේ ජීවිත කතාව ලියැවුණු ග‍්‍රන්ථයෙන් ඇතිවූ ආන්දෝලනය අතීතයක් පමණක් බවත් එයින් ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියේදී තම කණ්ඩායමට කිසිදු හානිකර බලපෑමක් ඇති නොවන බවත් එංගලන්ත නායක අලිස්ටෙයාර් කුක් කියයි. ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම අද (16 වැනිදා) එංගලන්තයෙන් පිටත්වීමට නියමිතය.

ලෝක කුසලන කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ පෙරවාරි මාසයේදී ආරම්භ වන අතර ලෝක කුසලාන තරගාවලියට පොරතුව තම තමන්ගේ දස්කම් උරගා බැලීම සඳහා මේ මස 26 වැනිදා ආරම්භ වන එක්දින  තරගාවලිය එංගලන්තයට මෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායමටද ලැබෙන කදිම වේදිකාවකි.

පෙබරවාරි 14 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී ( ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර) සහ නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවරදී (ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර) ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වේ.

පසුගිය මාසයේදී ‘කේ. පී.’ යනුවෙන් ප‍්‍රකාශයට පත්කෙරුණු කෙවින් පීටර්සන්ගේ ජීවිත කතාවෙන් එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිප දෙනකුට මෙන්ම හිටපු පුහුණුකරුවා වූ ඇන්ඩි ෆ්ලවර්ටද දැඩි ලෙස චෝදනා කෙරිණ. අති විශාල මාධ්‍ය අවධානයක් මැද ප‍්‍රකාශයට පත්කෙරුණු නමුත් කෙවින් පීටර්සන්ගේ ජීවිත කතාවෙන් ඇතිකෙරුණු තිගැස්ම මේ වන විට පහව ගොස් තිබෙන බව එංගලන්ත නායකයගේ අදහසයි.

මේ වසර මුලදී එංගලන්ත පිල  ඕස්ටේ‍්‍රලියාවේදී අත්කරගත් 5-0 ක ටෙස්ට් තරගාවලි (අළු බඳුන තරගාවලිය) පරාජය සම්බන්ධයෙන් පීටර්සන් කියා තිබුණේ එංගලන්ත කණ්ඩායම තුළ ”පොඩි එකා පාගාදැමීමේ” සංස්කෘතියක් පවතින බවයි.

දකුණු අපි‍්‍රකාවේදී උපත ලද කෙවින් පීටර්සන් එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ වරම් දිනාගත්තේද වසර කිහිපයක් එංගලන්තයේ පදිංචිව සිටීමෙන් පසුවය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා ලෝඞ්ස්හිදී පැවැති පුවත් පත් සාකච්ඡවකදී ඇලිස්ටෙයාර් කුක් අවධාරණයෙන් පවසා සිටියේ පීටර්සන්ගේ චෝදනා ඇතුළු අනෙකුත් දේවලින් තම කණ්ඩායම කලබලයට පත්වී නැති බවයි.

”අපි සති දෙකක් පමණ එක්ව පුහුණුවීම් කළා. ඒත් ඒ ගැන (පීටර්සන්ගේ චෝදනා) කතාකරන්න  ඕනෑකම අපට තිබුණේ නෑ”

”දැන් ඒක වෙලා ඉවරයි. එයාගේ පැත්තෙන් එයා හැම දේම හෙළිදරව් කරලා ඉවරයි. කී‍්‍රඩකයන් හැටියට අපි ඒක අතහැරලා දාලත් ඉවරයි....දැන් ඒකෙන් ආයෙත් මතුවෙන්න දෙයක් නෑ” යයිද එංගලන්ත නායකයා පැවසීය.

”අපට ඕනෑ කරන්නේ මෙතැන ඉඳන් කණ්ඩායම ගොඩ න`ගලා නැගී සිටින්නයි. නායකයකු හැටියට මේක හොඳ වේදිකාවක්” යයිද ඇලිස්ටෙයාර් කුක් වැඩිදුරටත් පැවසීය.

එංගලන්ත පිල අවසන් වරට සහභාගි වූ එක්දින තරගාවලි හයේදීම පරාජය වී අති අතර ඉන්දීය පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ද පසුගිය සතියේ කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිල සාර්ථක වීමට ඇති අවස්ථාව ඉතා අල්ප බවයි.

”අවුරුදු 40 ක් විතර තිස්සේ එංගලන්තයට ඒ උත්සාහය සාර්ථක කරගන්න බැරිවුණා” යයි සචින් තෙන්ඩුල්කාර් පැවසීය.

නිමාවූ එංගලන්ත ගිම්හානයේදී වත්මන් එක්දින ලෝක ශූරයන් වන ඉන්දියානු පිල හමුවේ එංගලන්තය දරුණු පරාජයක් ලැබීය. මෙම පරාජය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු එංගලන්ත පිලේ හිටපු නායකයා වන මයිකල් වෝන් සහ දග පන්දු යවන කී‍්‍රඩක ගේ‍්‍රඒම් ස්වෝන් කියා සිටියේ ඇලිස්ටෙයාර් කුක් එංගලන්ත එක්දින පිලේ නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි.

එහෙත් ඉන්දීය පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය පිල ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට ඇලිස්ටෙයාර් කුක් සමත් විය.

”මාව ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කරන්න මයිකල් වෝන්ටත් ඕනෑ වුණානේ. ඒ ටෙස්ට් තරගාවලියට සතියකට කලින්. ඒත් තමන්ට වැරදුණු බව පස්සේ පිළිගන්න මයිකල්ට සිද්ධවුණා”

”දැන් මාස 5 ක් ගිහිල්ලා. මා හිතන්නේ මිනිසුන් හිතන විදිහ වෙනස් කරනවා නම් හොඳයි”

”ඇරත් එංගලන්ත පිල එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 අත්කරගෙන හිටිය එක අවස්ථාවක් හෝ තිබුණා නම්, ඒ මම නායකත්වයේ ඉන්දැද්දි” යයිද ඇලිස්ටෙයාර් කුක් පැවසීය.

එක්දින තරග සඳහා සුදු පැහැති පන්දුවක් යොදාගන්නා නමුත් ටෙස්ට් තරග සඳහා යෝදාගනු ලබන්නේ සාම්ප‍්‍රදායික රතු පැහැ පන්දුවයි. පිතිකරුවකු වශයෙන් සාම්ප‍්‍රදායික අවතීර්ණ වීමක් ලබාගන්නා එංගලන්ත නායකයා එක්දින තරග වලදී අසාර්ථක වීම එංගලන්ත පිලේ උපක‍්‍රම කෙරේ අහිතකර ආකාරයෙන් බලපාන බව ඇතැම් විචාරකයන්ගේ මතයයි.

 


අදහස් (3)

පීටර්සන්ගේ පොත ගෙදර තියා එංගලන්ත පිල එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.