Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පීඩනය මැද කරන්ගෙන් ප්‍රහාරයක්

පීඩනය මැද කරන්ගෙන් ප්‍රහාරයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෑම් කරන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව බර්මින්හැම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (3 වැනිදා) තේ පානය සඳහා නතර කරනවිට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 180 ක් රැස්කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව ඉන්දිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හිමිවිය.

ලකුණු 87 කට කඩුලු 7 ක් අහිමිවී දැඩි පීඩනයට ලක්ව සිටි එංගලන්ත කණ්ඩායමට සහනයක් ගෙනදුන් සෑම් කරන් සීමිත ඕවර තරගයක ආකාරයේ පිතිහරඹයක නිරතවෙමින් අවසන් කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 65 කදී ලකුණු 63 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 කින් සෑම් කරන්ගේ ඉනිම අලංකාර විය.

ඒ නමුත් අදිල් රෂීඞ් සමගින් අටවැනි කඩුල්ල සඳහා ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සෑම් කරන් ඉන් ද නොනැවතී ස්ටුවර්ට් බ්‍රෝඞ් සමගින්ද එකතුව නමවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ දැමීමට සමත්විය.

දෙවැනි දිනයවූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 9 ක් ලබා ගනිමින් ඉන්දිය කණ්ඩායමට වඩා ලකුණු 22 ක් ඉදිරියෙන් පසුවිය.

අද උදෑසන පළමු කඩුල්ල ලෙස කීටන් ජෙනින්ග් පිටියෙන් ඉවත් කළ රවිචන්ද්‍රන් අශ්වින් ඉන් නොනැවතී එංගලන්ත නායක ජෝ රූට් ලකුණු 14 කට පිටියෙන් ඉවත් කළේය.

ජොනී බෙයාර්ස්ටෝ සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 31 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු එංගලන්ත ඉනිම නැවත ගොඩනගමින් සිටියදී ඉෂාන්ත් ශර්මාගේ පන්දුවක් හමුවේ අජින්ක්‍යා රහනේ අතට උඩපන්දුවක් දුන් ඬේවිඞ් මාලන් ලකුණු 20 කට දැවී ගියේය.

දිවා ආහාරයට පෙර යවන ලද අවසන් ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දු වලදී ජොනී බෙයාර්ස්ටෝ සහ බෙන් ස්ටෝක්ස් පිටියෙන් ඉවත් කිරීමට ඉෂාන්ත් ශර්මා සමත්විය. බෙන් ස්ටෝක්ස් දැවීයාමත් සමගින් දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර ඒ වනවිට එංගලන්ත කණ්ඩායම ලකුණු 86 කට කඩුලු 6 ක් අහිමිකර ගනිමින් දැඩි අසීරූ තත්වයකට පත්ව සිටියේය.

දිවා ආහාරයට පෙර යවන ලද ඕවරයේ ඉතිරි පන්දු දෙක යැවීම සඳහා නැවතත් දිවා ආහාරයෙන් පසුව පන්දුව අතට ගත් ඉෂාන්ත් ශර්මා අවසන් පන්දුවේදී එංගලන්ත කණ්ඩායමේ නම් දැරූ අවසන් පිතිකරුවාවූ ජොස් බට්ලර් දවාගැනීමට සමත්විය.

එංගලන්තයේදීම ඔවුන් දණ ගැස්සවූ ඉෂාන්ත් ශර්මා ලකුණු 51 කට කඩුලු 5 ක් දවාගත් අතර වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 59 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. උමේෂ් යාදව් කඩුලු 2 ක් දවාගත්තේය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 287
(කීටන් ජෙනින්ග් 42, ජෝ රූට් 80, ජොනී බෙයාර්ස්ටෝ 70, බෙන් ස්ටෝක්ස් 21, සෑම් කරන් 24, රවිචන්ද්‍රන් අශ්වින් 62/4, මොහොමඞ් ශාමී 64/3)

ඉන්දීය පළමු ඉනිම - සියලු දෙනා දැවී 274
(මුරලි විජේ 20, ශිකර් ධවාන් 26, විරාට් කෝලි 149, හර්දීක් පාණ්ඩ්‍යා 22, සෑම් කරන් 72/4, ආදිල් රෂීඞ් 31/2, ජේම්ස් ඇන්ඩසන් 41/2, බෙන් ස්ටෝක්ස් 73/2)

එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 180
(ඬේවිඞ් මාලන් 20, ජොනී බෙයාර්ස්ටෝ 28, සෑම් කරන් 63, ඉෂාන්ත් ශර්මා 51/5, රවිචන්ද්‍රන් අශ්වින් 59/3, උමේෂ් යාදව් 20/2)

 


අදහස් (0)

පීඩනය මැද කරන්ගෙන් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.