Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පුෂ්පකුමාර ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙයි

පුෂ්පකුමාර ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාලින්ද පුෂ්පකුමාරගේ (46/6) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජැමෙයිකාවේදී පැවැති දෙවැනි සිවුදින තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ලකුණු 280 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඊයේ (21 වැනිදා) සමත්විය. ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවස්ථාව හිමිවිය.

දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සදහා ලකුණු 425 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල ලකුණු 144 කට සීමා කිරීමට මාලින්ද පුෂ්පකුමාර ප්‍රමුඛ පන්දුයවන්නෝ සමත්වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මාලින්ද ලකුණු 46 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ලකුණු 98 කට කඩුලු 12 ක් දවාගනිමින් තරගය පුරා දස්කම් දැක්වීය.

මුල් පෙළ පිතිකරුවන් පස්දෙනෙකු ලකුණු 66 ක් තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පසුපෙළ පිතිකරුවන් හට සම්බන්ධතා ගොඩනැගීමට අවස්ථාවක් ලබානොදීමට වග බලාගත්හ.

සුනිල් ඇම්බ්‍රිස් ලකුණු 41 ක් රැස්කරමින් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය.

දෙවැනි දිනය නිමාවන විටදී කඩුලු 6 ක් දැවී ලකුණු 213 ක් රැස්කරගෙන සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තෙවැනි දිනයේ පළමු භාගයේදී සිය දෙවැනි ඉනිම අත්හිටුවන විට කඩුලු 9 ක් දැවී ලකුණු 267 රැස්කර සිටියේය.

ලකුණු 85 ක් ලබාගනිමින් දෙවැනි දිනය අවසන් වනවිට නොදැවී කඩුල්ලේ රැඳි සිටි රෝෂේන් සිල්වාට තෙවැනි දිනයේදී ලබාගැනීමට හැකිවූයේ ලකුණක් පමණි. රකීම් කොන්වෝල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 86 ක් ලබාසිටි රෝෂේන් සිල්වාට පිටියෙන් ඉවත්වන්නට සිදුවිය.

ශ්‍රී ලංකා ඉනිම අවසන්වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි වනිඳු හසරංග පන්දු 62 කදි හතරේ පහර හයක් සමගින් ලකුණු 50 ක් ලබාසිටියේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ රකීම් කොන්වෝල් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 107 ක් තුළ නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්වූහ.

 


අදහස් (0)

පුෂ්පකුමාර ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.