Last Update  :  2025-04-23 10:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පුහුණුකරු පොතාස් අමුතු පොතක් පෙරළයි

පුහුණුකරු පොතාස් අමුතු පොතක් පෙරළයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානය හිමි සිම්බාබ්වේ කණ්ඩායම (ප්‍රසාද ලකුණු 0 යි) හමුවේ මහත් අසරණව සිටියද ශ්‍රී ලංකා කණ්ඩායමට (ප්‍රසාද ලකුණු 91) එල්ල විය හැකි විවේචන වලින් ආරක්‍ෂා වීම සඳහා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා ආරක්‍ෂක පවුරක් තනමින් සිටී. ඔහුගේ තර්කය වන්නේ තරගයක දස්කම් සම්බන්ධයෙන් විදේශීය ක්‍රීඩකයන්ට හිමිවන ප්‍රසාදයම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටත් හිමිවිය යුතු බවයි.

එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 11 වැනි ස්ථානයේ පසුවන සිම්බාබ්වේ පිලට එරෙහිව මවුබිමේදීම පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදීද මහත් සේ අසරණව සිටී. තරගයේ තුන්වැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සිම්බාබ්වේ පිල, කඩුලු 4 ක්ද අතැතිව, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 262 ක් ඉදිරියෙන් සිටියේය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා පුහුණුකරුවා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් “ආශ්චර්යවත්’ ලෙසින් ක්‍රීඩා කළ බවයි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී නික් පොතාස් මහතා ඒසේ කීවේය.

“අපේ ක්‍රීඩකයන්ටත් ප්‍රතිවාදීන්ට හිමි ප්‍රශංසාවම ලැබෙන්න ඕනෑ. පන්දුවේ තද ගතිය ගියාට පස්සේ තත්ත්වය තරමක් අසීරු වුණා....මා හිතන්නේ (සිකන්දර්) රාසා ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ වගේම (පීටර්) මුවර් සහ (මැල්කම්) වොලර් දෙදෙනාත් හොඳින් පන්දුවට පහර දුන්නා...ඒත් අපේ හාදයෝ මහත් ආශ්චර්යවත් ආකාරයෙන් තරග කළා” යයි නික් පොතාස් මහතා කීවේය.

“ඔවුන් ඔවුන්ගේ රැකියාව හරියට කළා....මා හිතන්නේ පන්දු රැකීමේ තත්ත්වය ඉතාමත් උසස්. ඔවන් තම තමන්ගේ වගකම් වල ඇලී සිටියා. ඒක පහසු දෙයක් නෙමේ....ඒත් අපි හෙට උදේ ආයෙමත් නැඟිටිනවා...ඉක්මනින් කඩුලු කිහිපයක් අරගෙන අපට තියෙන ඉලක්කය හඹා යනවා”
යයිද නික් පොතාස් මහතා පැවසීය.

මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 7 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස සිටියද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සතුව ප්‍රසාද ලකුණු 91 ක් තිබේ. වසර 17 ක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූවද සිම්බාබ්වේ පිලට තවමත් එකම ප්‍රසාද ලකුණක් හෝ ලබාගත නොහැකි වී තිබේ.

සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි නමුත් ශ්‍රී ලංකා පුහුණුකරුවාගේ උත්සාහය වී තිබෙන්නේ කණ්ඩායමට එල්ල විය හැකි සියලු චෝදනා වලින් ඔවුන් ආරක්‍ෂා කරගැනීමයි.

නික් පොතාස් මහතාගේ මතය වන්නේ ක්‍රීඩකයන්ගේ දස්කම් සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදිය යුතු බවයි. ඒ සඳහා “කිසියම් (සාධාරණ වියහැකි) දෘෂ්ටිකෝණයක්” තිබිය යුතු බවද ඔහු කියයි.

“මේ කණ්ඩායමේ ඇදහිය නොහැකි තරම් හැකියාවන් තියෙන අය ඉන්නවා. ඒත් අපි ඔවුන් සමග ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඔවුන් ඇතැම් විට හොඳ දස්කම් පෙන්වනවා”

“ඒත් මේ මොහොතේ...අපි අපේ දස්කම් නිශ්චිතව පවත්වාගෙන යා යුතු මට්ටමට පවත්වාගෙන යන්නේ නෑ..ඒත් ඔවුන්ට කාලය දෙන්න..ඔබලාට ආශ්චර්යවත් ක්‍රිකට් කණ්ඩායමක් හදාගන්න පුළුවන්”
යයිද නික් පොතාස් මහතා පැවසීය.

මාස කිහිපයකට ඉහතදී පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ නික් පොතාස් මහතා ප්‍රධාන පුහුණුකරුවා වූයේ අහම්බයකිනි. වසර 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වීමට ගිවිසුම් අත්සන් කර සිටි ග්‍රැහැම් ෆෝඞ් මහතා මේ මස මුලදී කණ්ඩායම හැර ගියේය. ෆෝඞ් මහතා කණ්ඩායම හැරයාමට මූලික හේතුව කණ්ඩායම තුළ කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පැවැති කළකිරීම වූවත් ක්‍රිකට් බලධාරීන් ලෝකයාට පෙන්වූයේ වෙනත් චිත්‍රයකි.

ෆෝඞ් මහතාගේ නික්ම යාමත් සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත් අතර පැවැතියේ දින කිහිපයක පරතරයකි. එබැවින් ඒ  වන විට කණ්ඩායමට සම්බන්ධව සිටි නික් පොතාස් මහතා තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කෙරිණ.

කෙසේ වෙතත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ පිල හමුවේ තමන්ගේත් ශ්‍රී ලංකා කණ්ඩායමේත් සායම බේරාගතහැකි වනු ඇතැයි පුහුණුකරුවා සුබවාදී මතයක එල්බගෙන සිටී.

“පරණ බෝලෙන් පන්දු යවන්න තවත් ඕවර 12 ක් තියෙනවා. ඊට පස්සේ අපි අලුත් බෝලේ ගන්නවා...අපි අද රාත්‍රියේ කතාබහ කරලා බලනවා හෙට උදේ මොන ආකාරයේ සැලසුමක් සමගද එන්න ඕනේ කියලා”

යයි පැවසූ නික් පොතාස් මහතා

“අපට රූපවාහිනියෙන් පෙනෙන දේ යථාර්ථය නොවෙයි කියලා මා තදින් විශ්වාස කරනවා. ඇත්තටම නිවැරදි චිත්‍රයක් මවාගන්න ඕනෑ නම් මැද්දට ගිහින් සෙල්ලම් කරන හාදයින්ට කතා කරන්න ඕනෑ....”
“එක වරකට එක දෙයක්...අපි කඩුලු 4 ක් දවාගන්න ඕනෑ..ඒක කළාට පස්සේ කීයක් වුණත් ඉලක්කය හඹා යන්න ඕනෑ. මේ තරගයේ තවත් විශාල කාලයක් ඉතිරිවෙලා තියෙනවා”

යයිද අද සවස තරගයෙන් අනතුරුව පැවසීය.

 


අදහස් (0)

පුහුණුකරු පොතාස් අමුතු පොතක් පෙරළයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.