Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පෙරේරලා දෙන්නා එක්ව ශ්‍රී ලංකාවේ ගෞරවය රකිති

පෙරේරලා දෙන්නා එක්ව ශ්‍රී ලංකාවේ ගෞරවය රකිති

Nisanka Sandeepani - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර හතරකට පසුව තම මව්බිමේදී පැවැති ටෙස්ට් තරගාවලියකින් ජයපැන් බීමට පුලපුලා බලාසිටි කොදෙව්වන්ගේ බලාපොරොත්තු බිමට සමතලා කර දමමින් බාර්බඩෝස් දිවයිනේ බ්‍රිජ්ටවුන්හිදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී කඩුලු 4 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සමකර දීමට කුසල් පෙරේරා සහ ඩිල්රුවන් පෙරේරා සමත්වූහ.

තරගාවලියේ පළමු තරගය ජයගෙන සිටි කොදෙව් පිලට තරගාවලිය ජයගැනීම සඳහා අවශ්‍ය වූයේ මෙම තරගයෙන් පරාජය නොවී සිටීම පමණි. දෙවැනි ඉනිමේදී ලකුණු 81 කට කඩුලු 6 ක් බිඳ වැටී තිබියදීත් නොසැලී සිය ඉලක්කය කරා ගිය ඩිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා ලකුණු 63 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

උඩපන්දුවක් රැකගැනීමට යාමේදී හතරේ සීමාව ආසන්නයේ තිබූ දැන්වීම් පුවරුවක් මත ඇද වැටීම හේතුවෙන් රෝහලගත කළ කුසල් පෙරේරා නැවතත් කණ්ඩායම සමගින් එක්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් නම්දැරූ එකම පිතිකරුවා මෙන්ම එකම බලාපොරොත්තුවද විය. විවේක ගන්න යයි වෛද්‍ය උපදේශය වුවද සිය අපහසුතා අමතක කළ මෙම වමත් පිතිකරුවා, ඩිල්රුවන් සමගින් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය පසුකරන තුරුම පිටියේ රැඳී සිටියේය.

කුසල් පෙරේරා හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 28 ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් තුන් ඉරියව් ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 23 ක් රැස්කිරීමට සමත්විය. කෙමාර් රෝච්ගේ පන්දුවක් හමුවේ ඩිල්රුවන් පෙරේරා දුන් උඩපන්දුව දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා සහ ගලී ක්‍රීඩකයාට රැකගැනීමට නොහැකිවීම ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය කරා යෑමේදී මහත් අස්වැසිල්ලක් විය.

සිවුවැනි දිනයේ තරගය ආරම්භ වීමෙන් පසු ජේසන් හෝල්ඩර් යැවූ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වූ කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන්කරමින් ජේසන් හෝල්ඩර්ගේ පස්වැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවීයන විට පෙරදින රැස්කළ ලකුණු 25 න් ඔබ්බට යෑමට ඔහුට නොහැකි වී තිබිණ.

දෙවැනි ඉනිමේදී වේගපන්දු යවන්නන් සිවුදෙනෙකු පමණක් යොදා ගනිමින් පන්දු යැවීමේ නිරතවූ කොදෙව් නායකයා හයවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳ හෙළීම සඳහා දඟ පන්දු යවන්නකුවූ දේවේන්ද්‍ර බිශූ අවසන් මොහොතේ කැඳවුවද ඉන් පළක් නොවීය.

ඩිල්රුවන් පෙරේරා තරගය අවසන් කළේ ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් මිඞ් ඕෆ් කලාපයට ඉහළින් හතරේ සීමාව කරා යවමිනි.

 

 


අදහස් (0)

පෙරේරලා දෙන්නා එක්ව ශ්‍රී ලංකාවේ ගෞරවය රකිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.