Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති

පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 2 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය පරාජය වීමෙන් වැලකී සිටීමට මෙන්ම පිට පිටම පරාජයන් 8 ක් ලබා ඇද වැටී තිබූ ආගාධයෙන් ගොඩ ඒමටද හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි20 තරගයකදී හඹාගොස් ජයගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද එය වාර්තා පොතට එක් විය.

අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වෙමින් පස්වැනි කඩුල්ල සඳහා පන්දු 30 කදී ලකුණු 65 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ දසුන් ශානක (නොදැවී 42) සහ තිසර පෙරේරා (නොදැවී 39) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 24 කදී වාර්තා වූ දසුන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 18 කදී වාර්තා වූ තිසරගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

පන්දු 27 කට මුහුණදුන් කුසල් මෙන්ඩිස් (53) හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ධනුෂ්ක ගුණතිලක (30) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමීමටද මෙන්ඩිස් සමත් විය.

අෆීෆ් හුසේන්ගේ පන්දුවක් හමුවේ ලෝන්ග් ඕෆ් කළාපය දෙසට ඇදීයන ලෙස ගැසූ පහරකින් ඉහළ ගිය පන්දුව, හයේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි සෞම්‍ය සර්කාර්ගේ දෑත් අතර සිරවීමත් සමග මෙන්ඩිස්ගේ ඉනිම නිමාවට පත්විය. ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 4 න් 2 කටම හිමිකම් කීමට නස්මුල් හුසේන් සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ මුෂ්ෆිකුර් රහීම්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ධනුෂ්ක ගුණතිලකද, අෆීෆ් හුසේන් අතට උඩ පන්දුවක් දෙමින් උපුල් තරංගද දැවී ගියහ.

තරංගගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ලට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට රුබෙල් හුසේන් ඉඩක් ලබා නොදුන් අතර මොහොමඞ් ශයිෆුඩීන් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට දික්වැල්ල ලබා සිටියේ ලකුණු 11 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 දැවී ලකුණු 193 ක් ලබාගත් අතර එය බංග්ලාදේශ කණ්ඩායමක් විස්සයි20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද සටහන් විය. 2012 වසරේදී අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්හිදී ලබාගත් ලකුණු 190 එතෙක් බංග්ලාදේශ කණ්ඩායමක් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව විය.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 73 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 66) සහ නායක මහමදුල්ලා රියාද් (43) බංග්ලාදේශ ඉනිම ලකුණු 200 සීමාව ආසන්නයටම රැගෙන ගියහ. ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ අකිල ධනංජය අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ අතර බංග්ලාදේශයට ලකුණු 200 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාවද මඟහැරී ගියේය.

පන්දු 44 කදී වාර්තා වූ රහීම්ගේ දෙවැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත වූ අතර පන්දු 31 කදී වාර්තා වූ මහමදුල්ලාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. මහමදුල්ලාගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි සබීර් රෙහෙමාන්ට තිසර පෙරේරාගේ පන්දුවක් පා ඉන්නේ වැදීම නිසා ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය වෙත පියමන් කිරීමට සිදුවිය.

පන්දු 32 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලබාගත් සෞම්‍ය සර්කාර්, එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. සකීර් හසන් (10) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සර්කාර්, ඉන් නොනැවතී මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 66) සමග එක්ව පන්දු 37 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
 
බංග්ලාදේශ ඉනිමේ 11 වැනි ඕවරය යැවූ ජීවන් මෙන්ඩිස් එම ඕවරයේ පළමු පන්දුවේදීම සෞම්‍ය සර්කාර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය. මෙන්ඩිස්ගේ කෙටි පන්දුවකට රිවස් ස්වීප් පහරක් ගැසීමට යාමේදී පිට ඉන්න කෙලින් පතිත වූ පන්දුව පසුපස පාදයේ වැදීම නිසා සාර්කාර්ගේ වේගවත් ඉනිම නිමාවට පත්විය.  

එම ඕවරයේම තෙවැනි පන්දුවේදී අෆීෆ් හුසේන්ද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මෙන්ඩිස් සමත් වූයේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ලගේ සහායද ඇතිවය. එහිදී හුසේන්ගේ වම් අතේ වැලමිටේ වැදී පිත්ත මත පතිත වූ පන්දුව, උඩ පන්දුවක් ලෙස රැකගැනීමට දික්වැල්ල සමත් වීමත් සමග ඔහුට ලකුණු නොළබාම පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

සෞම්‍ය සර්කාර් ලකුණු 12 ක් ලබා සිටියදී ධනුෂ්ක ගුණතිලකගේ පන්දුවක් හමුවේ ඔහු අතටම ලබාදුන් උඩ පන්දුවක් රැකගැනීමට අසමත් වුවද, බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සකීර් හසන්ගේ කඩුල්ල බිඳ දැමීමට ගුණතිලක සමත් විය.

 

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු වි-20 තරගයේ විශේෂ අවස්ථා..

- 036

 


අදහස් (0)

පිතිකරුවෝ ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.