Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශය අවසන් තරගයට

බංග්ලාදේශය අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවති තරගය ලකුණු 37 කින් ජයගත් බංග්ලාදේශය අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.

ඉමාම් උල් හක් හුදකලා සටනක නිරත වෙමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ දැරුවද ඔහුගේ දැවීයාමත් සමගින් එම බලාපොරොත්තුව සුන්වී ගියේය. පන්දු 105 කට මුහුණදුන් ඉමාම් උල් හක් දැවීයන විට ලකුණු 83 ක් රැස්කර සිටි අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

ශොයිබ් මලික් සමගින් සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඉමාම් උල් හක් හයවැනි කඩුල්ල සඳහා අසීෆ් අලී සමගින් එක්ව තවත් ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

මුස්ටෆිසූර් රෙහ්මාන් ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මෙහෙදි හසන් ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශයට ඕවර 48.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූවේ ලකුණු 239 ක් පමණි.

ශතකය පෙනි පෙනි සිටි මුෂ්ෆිකූර් රහීම් ලකුණු 99 කට දවාගැනීමට ශහීන් අෆ්රිඩි සමත්විය. සර්ෆ්‍රාස් අහ්මඞ් අතට උඩපන්දු දෙමින් මුෂ්ෆිකූර් රහීම් දැවී යනවිට පන්දු 116 කදී හතරේ පහර 9 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.

ලකුණු 12 කට කඩුලු 3 ක් දැවී ඉතා අසරණ අඩියට වැටී සිටි බංග්ලාදේශ කණ්ඩායම ඉන් මුදවාගත් මුෂ්ෆිකූර් රහීම් සහ මොහොමඞ් මිතුන් සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 176 කදී ලකුණු 144 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

අර්ධ ශතකයක් ලබාගනිමින් මුෂ්ෆිකූර් රහීම්ට අනගි සහයක් ලබාදුන් මොහොමඞ් මිතුන් ලබාදුන් උඩපන්දුවක් පන්දු යැවූ හසන් අලී විසින්ම රැකගැනීමත් සමගින් ඔහුගේ ඉනිම අවසන් විය. පන්දු 84 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 60 ක් රැස්කිරීමට මොහොමඞ් මිතුන් සමත්විය.

ඕවර 9 කදී එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ජුනයිඞ් ඛාන් සමත්වූ අතර ශහීන් අෆ්රිඩි සහ හසන් අලී කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගය අනිද්දා (28) ඩුබායි හිදී පැවැත්වේ.

බංග්ලාදේශය - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී 239
(මුෂ්ෆිකූර් රහීම් 99, මොහොමඞ් මිතුන් 60, මහමුදුල්ලා 25, ජුනයිඞ් ඛාන් 19/4, ශහීන් අෆ්රිඩි 47/2, හසන් අලී 60/2)

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 202
(ඉමාම් උල් හක් 83, ශොයිබ් මලික් 30, අසීෆ් අලී 31, මුස්ටෆිසූර් රෙහ්මාන් 43/4, මෙහෙදි හසන් 28/2)


අදහස් (0)

බංග්ලාදේශය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.