Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගය ලකුණු 13 කින් ජයගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද (19) සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත යොවුන් ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි.
ලකුණු 97 කට කඩුලු 9 ක් දැවී තිබියදී අවසන් කඩුල්ල සඳහා එක්වූ චමිඳු විජේසිංහ සහ රොහාන් සංජය අවසන් කඩුල්ල සඳහා ලකුණු 26 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණය දෙසට කණ්ඩායම රැගෙන ගියද, ශොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අක්බර් අලී අතට උඩපන්දුවක් ලබාදී චමිඳු විජේසිංහ දැවීයාමත් සමගින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් සුන්වී ගියේය.
කඩුල්ල කෙලින් පැමිණෙන පන්දුවලට හරවා පහරවල් ගැසීමට යාමෙන් පිතිකරුවන් සිවුදෙනෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර කඩුලු අතර දිවයෑමේදී සංනිවේදනයේ පැවැති දුර්වලතා හේතුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු දුවද්දී දැවීයාම් වලටද හසුවූහ.
පළමු ඉනිමේදී ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ සොනාල් දිනූෂ ලකුණු 24 ක් රැස්කර සිටියදී ඉතා අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවිම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දැඩි අසීරූ තත්වයකට පත්විය.
සොනාල් දිනූෂ සමගින් එක්ව හයවැනි කඩුල්ල සඳහා ලකුණු 22 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිටියදී සඳුන් මෙන්ඩිස් ලබාදුන් උඩපන්දුව රැකගැනීමට පන්දු රකින්නන් තිදෙනෙකු පැමිණියද එම උඩපන්දුව රැකගැනීමට ඔවුන් අපොහොසත් වූහ. නමුත් ඉක්මනින් ක්‍රියාත්මකවූ නව්රෝස් නබිල් පන්දුව අහුලා කඩුලු රකින්නා වෙත යොමු කිරීම හේතුවෙන් ලකුණක් කරා දිවයෑමට උත්සහ කළ සඳුන් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 13 කට අවසන්විය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ශහීම් අලාම් සහ රකිබුල් හසන් කඩුලු 3 බැගින් දවාගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. ශොරිෆුල් ඉස්ලාම් සහ ශමිම් පත්වරි කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹු බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තෙවැනි දිනයට ඊයේ (18) තරගය නතර කරනවිට කඩුල්ලක් දැවී ලකුණු 18 ක් රැස්කර සිටියේය. සිවුවැනි දිනය වූ අද උදෑසන තරගය ආරම්භයේ සිට පිතිකරුවන්ට පීඩනයක් ඇතිකරමින් පන්දු යැවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නෝ ලකුණු 97 කට ඉතිරි කඩුලු 9 දවාගැනීමට සමත්වූහ.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාගනිමින් අද උදෑසන යවන ලද තෙවැනි ඕවරයේ තෙවැනි සහ සිවුවැනි පන්දු වලදී හසන් ජෝයී සහ නායක තව්හිඞ් රිඩෝයී පිටියෙන් ඉවත් කිරීමට වේගපන්දු යවන ක්‍රීඩක චමිඳු විජේසිංහ සමත්විය. හසන් ජෝයී ලකුණු 14 ක් ලබාසිටියදී කමිල් මිෂාර අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගිය අතර තව්හිඞ් රිඩෝයී තමන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම ජනිෂ්ක පෙරේරා අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
එතැන් පටන් දැවී ගිය කඩුලු 7 ම දඟපන්දු යවන්නන්වූ අශේන් ඩැනියල්, රොහාන් සංජය සහ සඳුන් මෙන්ඩිස් අතර බෙදී ගියහ.
හුදකලා සටනක නිරතවූ අක්බර් අලී ලකුණු 42 ක් රැස්කරමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ දෙවැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර අශේන් ඩැනියල්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවීයන විට ලකුණු පුවරුව කඩුලු 9 කට ලකුණු 115 ක් විය.
අශේන් ඩැනියල් ලකුණු 19 කට කඩුලු 4 ක්ද, රොහාන් සංජය ලකුණු 43 කට කඩුලු 3 ක් සහ චමිඳු විජේසිංහ ලකුණු 38 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. සඳුන් මෙන්ඩිස් ලකුණු 11 කට කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.