Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 276 ක් පසුපසින්

බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 276 ක් පසුපසින්

Nisanka Sandeepani - 2018 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිවුදින තරගයේ තෙවැනි දිනය වන අද (25 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 351 ක ඉලක්කයක් හඹායමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය. 
 
මන්දාලෝක තත්වය සහ වර්ෂාව හේතුවෙන් තේ පානයෙන් අනතුරුව තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර තරගය නතර කරන විට සජීඞ් හසන් හතරේ පහර 4 ක් සමග ලකුණු 29 ක්ද, නායක තව්හිද් රිඩෝයි ලකුණු 2 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල බවට පත්වෙමින් ටැන්සිඞ් හසන් ටමීම් පිටියෙන් ඉවත්ව ගියේ රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. දැවීයන විට පන්දු 48 කට මුහුණදී සිටි ටැන්සිඞ් හතරේ පහර 5 ක් සමග ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37 කි. 

අද දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, දිවා ආහාරය නිමා වී පැයක පමණ කාලයක් පන්දුවට පහරදීමෙන් අනතුරුව කඩුලු 9 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවට පහරදෙන ලෙස ආරාධනා කර සිටියේය. 

දෙවැනි දිනය වූ ඊයේ (24 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 102 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද දිනයේදී කඩුලු 6 ක් දැවී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 131 ක් එක්කර ගත්හ. ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ කඩුලු 9 න් 7 කටම හිමිකම් කීමට බංග්ලාදේශ කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රකිබුල් හසන් සමත් විය. 

ලකුණු 134 කට කඩුලු 6 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි චමිඳු විජේසිංහ (55) එතැන් පටන් සඳුන් මෙන්ඩිස් (36) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 115 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට නව ජවයක් එක් කළේය. රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් චමිඳු දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර පන්දු 67 කට මුහුණදුන් ඔහු හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය. 

චමිඳු දැවීගිය ඕවරයේම අවසන් පන්දුවේදී නවීන් ප්‍රනාන්දුද ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ රකිබුල් හසන්, ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 215 කට කඩුලු 8 ක් බවට පත් කළේය. ටැන්සිඞ් හසන් ටමීම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට නවීන් ලකුණු ලබාගැනීම ආරම්භ කර නොතිබිණ. 

ලකුණු 10 ක් ලබා සිටියදී රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩ පන්දුවක් සජීඞ් හසන් අතින් ගිළිහීයෑම නිසා සඳුන් මෙන්ඩිස්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය. එහෙත් හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් ලබා සිටියදී රකිබුල්ගේම පන්දුවක් හමුවේ ලබාදුන් තවත් උඩ පන්දුවක් රැකගැනීමට ශමීම් පාට්වාරි සමත් වීමත් සමග මෙන්ඩිස්ගේ ඉනිමද නිමාවට පත්විය. 

පැයකුත් විනාඩි 40 ක පමණ කාලයක් සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් සොනාල් දිනූෂ පන්දු 98 කදී ලකුණු 37 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ හමුවේ සීමාවෙන් ඉදිරියට ගැසූ පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ටැන්සිඞ් හසන් ටමිම්ගේ දෑත් අතර සිරවීමත් සමග දිනූෂට ක්‍රීඩාගාරය බලා පියමන් කිරීමට සිදුවිය. 

පළමු ඉනිමේදී මුහුණදුන් පළමු පන්දුවේදීම ලකුණු නොළබා දැවී ගිය ජනිෂ්ක පෙරේරා, පන්දු 24 කට මුහුණු දුන් නමුත් දෙවැනි ඉනිමේදීද එකදු ලකුණක් හෝ රැස්කිරීමට අපොහොසත් විය. ඉනිම් දෙකේදීම ඔහුගේ කඩුල්ල දවාගැනීමට ශහීන් අලාම් සමත් වූ අතර පළමු ඉනිමේදී කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගිය ජනිෂ්ක, දෙවැනි ඉනිමේදී පිටියෙන් ඉවත්ව ගියේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි අමීත් හසන් අතට උඩ පන්දුවක් දෙමිනි. 

දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 14 ක් ලබා සිටි මොහොමඞ් ශමාෂ් දැවී ගියේ ශහීන් අලාම්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අක්බර් අලීගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි. පැය 2 කට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටි ශමාස් දැවීයන විට පන්දු 84 කට මුහුණදී සිටියේය. දෙවැනි ඉනිම තුළ ශ්‍රී ලංකා පිතිකරුවෙක් ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරකට යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුවූ දෙවැනි අවස්ථාව ලෙසද එය සටහන් විය. ඊයේ දිනයේදී ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන දැවී ගියේද එවැනිම අකාරයෙනි. 
 
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි

අදහස් (0)

බංග්ලාදේශ යොවුන් පිල ලකුණු 276 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.