Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner බෙන් ස්ටෝක්ස් නැවතත් පිටියට

බෙන් ස්ටෝක්ස් නැවතත් පිටියට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ කරමින් හෙට (25 වැනිදා) පැවැත්වෙන පළමු තරගයට එංගලන්ත පිලේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් ක්‍රීඩා කරන්නේ නම් දින 155 කට පසුව ඔහු නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇත. මෙම තරගය හෙට නවසීලන්තයේ හැමිල්ටන් නුවරදී පැවැත්වෙයි.

මාස කිහිපයකට ඉහතදී එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් බෙන් ස්ටෝක්ස්ට අළු බඳුන තරගාවලිය මෙන් ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සහ විස්සයි-20 තරගාවලියත් අහිමි විය. ඔහුගේ අහිමිවීම එංගලන්ත පිලට තදින් දැනුණු අතර අළු බඳුන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට අත්වූයේ 4-0 ක පරාජයකි.
.
එක්දින තරගාවලියේදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව 4-1 ක ජයක් ලබාගත් නමුත් නවසීලන්තයද ඇතුළත් වූ විස්සයි-20 තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත පිල අසමත් විය.

කෙසේ වෙතත් නවසීලන්තයට ගිය එංගලන්ත කණ්ඩායමට එක්වූ බෙන් ස්ටෝක්ස් පුහුණු දැළ තුළ දීර්ඝ වේලාවක් ගතකළේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සහ පන්දු යවමිනි. ඒ අතරවාරයේදී ස්ටෝක්ස්ගේ පුනරාගමනය සම්බන්ධයෙන් එංගලන්ත නායක ඔයින් මෝගන් ඉඟි කළේය.

“එයා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙනවා.... පන්දු යවනවා.... හරියට දිගටම ක්‍රීඩාවේ හිටියා වාගේ. එයා තරගයක් දෙකක් ක්‍රීඩා කරනකොට තවත් හොඳින් ක්‍රීඩා කරාවි” යයි ඔයින් මෝගන් කීවේය.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම එංගලන්තය හමුවීමට සූදානම් වන්නේ අවසන් වරට පැවැති එක්දින තරග 8 ම ජයග්‍රහණය කිරීමෙන් පසුවය. කොදෙව් පිලට එරෙහිව නවසීලන්තයේදී පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගත් සත්කාරකයෝ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරගාවලියද 5-0 ක් ලෙසින් ජයගත්හ.

කෙසේ වෙතත් මෙවර එංගලන්ත පිල නම් තරමක් වෙනස් එකකි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ සිය පරම හතුරා වන ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවේදීම පරාජය කරමින් 4-1 ක තරගාවලි ජයක් ලබාගැනීමට සමත්වීමෙන් එංගලන්තය සතුවන ආත්ම විශ්වාසයයි. එහෙත් නවසීලන්තය සෙල්ලම් පෙන්වා ඇත්තේ තමන්ගේ ගෙදරදීය.


නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ටොඞ් ඇස්ට්ල්, ටේ‍රන්ට් බෝල්ට්, ලොකී ෆර්ගසන්, කොලින් ඩි’ග්‍රැන්ඩෝම්, මාටින් ගප්ටිල්, මැතිව් හෙන්රි, ටොම් ලෙතම්, කොලින් මුන්රෝ, හෙන්රි නිකොල්ස්, මිචෙල් සෑන්ට්නර්, ඉෂ් සෝදි, ටිම් සවුති සහ රොස් ටේලර්

එංගලන්ත සංචිතය
ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජෝ රූට්, ජොනී බෙයාර්ස්ටෝ, සෑම් බිලින්ස්, ජොස් බට්ලර්, බෙන් ස්ටෝක්ස්, ටොම් කරන්, ඇලෙක්ස් හේල්ස්, අදිල් රෂීඞ්, මුයීන් අලි, ඬේවිඞ් විලී, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඞ්.

 

බෙන් ස්ටෝක්ස් උසාවිය වෙත යමින්...


අදහස් (0)

බෙන් ස්ටෝක්ස් නැවතත් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.