Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග - ඩිල්රුවන් යළි කැඳවති

මාලිංග - ඩිල්රුවන් යළි කැඳවති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැප්තැම්බර් මස 15 වැනිදා සිට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවීන ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ ඩිල්රුවන් පෙරේරා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමේ කමිටුව පියවර ගෙන තිබේ.

තිස්පස් හැවිරිදි ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 204 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 301 කි. අවසන් වරට ඔහු එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මීට වසරකට පෙර එනම් 2017 වසරේ සැප්තැම්බර් මාසයේදීය. ඉන්දියාවට එරෙහිව පැවැති එම තරගයේදී ඕවර 8 ක් යැවූ මාලිංග, නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 35 කඩුල්ලක් දවාගත්තේය.

2007 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එංගලන්තයට එරෙහිව පිට දඟ පන්දු යවන්නකු ලෙස එක්දින වරම් දිනාගත් ඩිල්රුවන් පෙරේරා, අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූයේ 2017 වසරේ අප්‍රේල් මාසයේදී බංග්ලාදේශයට එරෙහිවය. මේ වන විට 36 වැනි වියේ පසුවන ඩිල්රුවන්, වසර 10 ක් තුළ ක්‍රීඩා කර ඇත්තේ එක්දින තරග 12 කට පමණක් වන අතර එහිදී ඔහු බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 13 කි.

කෙසේ වුවත් මෑත කාලයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා සහ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ලට ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේ ස්ථානය අහිමි වී තිබේ. දික්වැල්ලගේ ස්ථානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සංචිතයට කැඳවා සිටින අතර බොහෝ දුරට ඔහු අංක 3 පිතිකරු ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ තිබේ.

නායක ඇන්ජලෝ මැතිව්ස් සමග උපුල් තරංග, කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් පිතිකරුවන් ලෙසද, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක සහ ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. ධනුෂ්ක ගුණතිලක නැවතත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටින්නේ ඔහුට එරෙහිව පැවැති ජාත්‍යන්තර තරග 6 ක තහනම අවසන් වීමෙන් පසුවය.

ඩිල්රුවන් පෙරේරාට අමතරව අකිල ධනංජය සහ අමිල අපොන්සු සංචිතයට ඇතුළත්ව සිටින දඟ පන්දු යවන්නන් වන අතර ලසිත් මාලිංගට අමතරව සුරංග ලක්මාල්, කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර සංචිතයට ඇතුළත්ව සිටින වේග පන්දු යවන්නෝ වෙති. අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන් සිවු දෙනාම පිට දඟ පන්දු යවන්නන් වන අතර අමිල අපොන්සු වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකි.


ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපොන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග

අතිරේක
ෂෙහාන් මධුෂංක, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය සහ නිරෝෂන් දික්වැල්ල

 

-036

 

 


අදහස් (0)

මාලිංග - ඩිල්රුවන් යළි කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.