Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග අභාග්‍යයේ අවසානය සොයයි

මාලිංග අභාග්‍යයේ අවසානය සොයයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් එක්දින ජයග්‍රහණය වාර්තා වන්නේ මාස හතර හමාරකට (2018 ඔක්තෝබර් 23 වැනිදා) පෙර වූවත් යථාර්ථය නම් මාස පහකට වැඩි කාලයක් තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 12 කින් ජයගෙන ඇත්තේ තරගයක් පමණක් වීමයි. මෙම අභාග්‍ය සම්පන්න කාලය ආරම්භ වූයේ පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය හමුවේ පරාජය වීමත් සමගිනි.

ශ්‍රී ලංකා පිල හමුවේ අද ඇති අභියෝගය වන්නේ නවසීලන්තයේ සිට ආරම්භ වූ, (වෙනත් ආකාරයකින් කියන්නේ නම් ලසිත් මාලිංග නැවත වරක් නායකත්වයට පත්වූ දා සිට ආරම්භ වූ) පරාජයන් වැල නතර කරගැනීමයි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ජයග්‍රහණය ගැන කල්පනා කළ යුතු වන්නේ ඊට පසුවය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වැනි එක්දින තරගය අනිද්දා (10 වැනිදා) ඩර්බන් නුවරදී පැවැත්වේ. මේ වන විට 2-0 ක් ලෙසින් එක්දින තරගාවලියේ ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකානුවන්ට හෙට තරගයත් ජයගන්නට අවස්ථාව දුන හොත් ශ්‍රී ලංකා පිලට උරුම වන්නේ තරගාවලියේ පරාජයයි.

පසුගිය ජනවාරි මාසයේදී ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වූ දා පටන් ශ්‍රී ලංකාව සහභාගි වූ තරග පහම පරාජය විය. දකුණු අප්‍රිකාවේදී පැවැති දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා පිලට ජයගැනීමේ අවස්ථාවක් තිබුණ නමුත් එය අතහැරීම ගැන ලසිත් මාලිංග උරණ වී සිටියේය.

තරගයෙන් පසුව තරහෙන් පුපුරමින් මාධ්‍ය ඇමතූ මාලිංග කීවේ ක්‍රීඩකයන් තමන්ගේ වටිනාකම් වටහාගත යුතු බවයි.

“මේක අපිට දෙයියො දෙන දෙයක් නෙමේ”

“මේක අපි මහන්සියෙන් ලබාගන්නා දෙයක්. මහන්සියෙන් ලබාගත්තාම, ඒකට තියෙන වටිනාකම (ඉහළයි). මට තේරෙන්නේ නෑ ඒක කොයිතරම් වටිනවාද කියලා (මේ ක්‍රීඩකයන්) දන්නවාද කියන එක” යයි මාලිංග කීවේය.

“අවස්ථාවල් හැමදාම හම්බවෙන්නේ නෑ”

“ඒත් අවස්ථාව හම්බ වුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. මෑත කාලෙම ලැබුණ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්ත බවක් පෙනෙන්නේ නෑ. ඒකයි අපි මේ තත්ත්වෙන් ඉන්නේ”

“ඒ නිසා අපි හැකි ඉක්මනින්, අපට මේ ලැබුණ අවස්ථාව කොයි තරම් වටිනවාද කියන එක පෙන්වන්න ඕනෙ..... මම අවුරුදු 14 ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කාලෙදි මේ වගේ අවස්ථා ලැබුණාම, ඒ ක්‍රීඩකයන් පෙන්නලා තියෙනවා ඒ අවස්ථාවන් කොයි තරම් වටිනවාද කියලා. ඒක පෙන්නනකම් හරි අමාරුයි අපට මේ තත්ත්වයෙන් (දිගින් දිගටම පරාජය වීමෙන්) ගොඩ එන්න” යයිද මාලිංග පැවසීය.

මාලිංගගේ සෘජු ඉලක්කය වූයේ පිතිකරුවන් මිස අනෙකකු නොවේ. පසුගිය 3 වැනිදා පැවැති තරගයේදී ලකුණු 231 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි එක්දින තරගයේදී ලැබුණේ ලකුණු 252 ක් වැනි පහසු ඉලක්කයකි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 32.2 කදී ලකුණු 138 කට දැවී ගියේය.

ඒ ගැන මාලිංග උරණ වී සිටියේය.

“ආරම්භයක් ලබාගන්නවා කියන්නේ ලකුණු 30 ක් ගහන එක නෙමේ. ආරම්භයක් ලබාගන්නවා කියන්නේ ලකුණු 50 ක් ගහලා, එතැනින් එහාට තරගය ඇදගෙන යන එකයි”

“ලකුණු 30 ක් ගහන එක ආරම්භයක් කියලා සතුටු වෙනවා නම් මම එතන නෑ....... අංක 7 වෙනකම් ඉන්න පිතිකරුවන් අතරේ කාට වුණත් ලකුණු 100 ක් ගහලා කණ්ඩායම ජයග්‍රහණය කරා අරන් යන්න පුළුවන් වෙන්න ඕන” යයිද මාලිංග පැවසීය.

ටෙස්ට් තරගාවලියේදී අනපේක්‍ෂිත පරිදි 2-0 ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියේදී නැවතත් සුපුරුදු දුර්වලතා අතරට වැටී සිටී.

 


අදහස් (0)

මාලිංග අභාග්‍යයේ අවසානය සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.