Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මාලිංග ඇවිස්සීම උපක්‍රමයක් ලෙසින්

මාලිංග ඇවිස්සීම උපක්‍රමයක් ලෙසින්

ශනුක අරවින්ද - 2017 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචිතයේ සිටින ක්‍රීඩකයන් 15 දෙනා දාම් ලෑල්ලේ සිටින ඉත්තන් මෙනි. වරින් වර එකිනෙකා එහාට මෙහාට ඇදෙන නමුත් ප්‍රතිඵලයේ වෙනසක් නැත. ඉඳහිට කිසිවෙක් ශතකයක් හෝ අර්ධ ශතකයක් ලබාගත්තද කණ්ඩායම යටවී සිටින අඳුරු වළාවෙන් එළියට පැමිණීමට නම් කුමක් හෝ අති විශේෂ දෙයක් අත්‍යවශ්‍ය වී තිබේ.

ලසිත් මාලිංගගෙන් කඩුලු 5 ක් ? එවැන්නක් ලැබුණොත් නම් කදිමය.

වෙන්න බැරි කමක්ද නැත. මක්නිසාද යත් ප්‍රතිවාදී කණ්ඩායම ඉන්දියාවම වන බැවිනි. මේ වන විට සගයින්ගේ සරදම් ඉවසාගෙන සිටින “ලසිත් මාලිංග හෙට තරගයේදී දුම්මල වරම අතට ගත්තොත්” යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තුව වී තිබේ. එසේ වුවහොත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට මහත් වැදගත් තරගාවලියක් වී ඇත්තේ 2019 ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් ලබන සැප්තැම්බර් 30 වැනිදාට පෙර අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගතකිරීම් අතරේ 8 වැනි ස්ථානය රැකගත යුතු බැවිනි. ශ්‍රී ලංකා පිල හමුවේ ඇති බලවත්ම අභියෝගය එයයි.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා කොදෙව් පිල තමන්ගේ ප්‍රබලතම ප්‍රහාරකයන් දෙදෙනා වන ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් දෙදෙනා කැඳවූයේ හැකි තරම් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් එක්රැස් කරගනිමින් ශ්‍රී ලංකාව පසුකර යාමේ බලාපොරොත්තුව ඇතිවය. එක්දින ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවට හිමි ලකුණු 88 අභිබවා යාමට නම් කොදෙව් පිල 4-1 ක් හෝ ඊට වඩා හොඳින් එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය ජයගත යුතුව තිබේ.

සැප්තැම්බර් 30 වැනිදාට පෙර පැවැත්වෙන අවසන් එක්දින තරගාවලිය මෙය වන බැවින් ශ්‍රී ලංකා පිල තරමක් පීඩනයට පත්ව සිටී.

මේ වන විට එක්දින තරග 200 ක් ක්‍රීඩා කර ඇති මාලිංග කඩුලු 300 කඩයිම පැනීමට තවත් කඩුලු 2 ක් මෑතින් සිටී. එයත් එක්තරා ආකාරයක උත්ප්‍රේරකයකි. ඒ සියල්ලටම වඩා මාලිංග මේ දිනවල මුහුණ දී සිටින බලවත්ම කරදරය වන්නේ ෂිකාර් ධවාන් දඹුල්ලේදී කළ ප්‍රකාශයෙන් පසුව තමන්ගේම කණ්ඩායම් සගයින්ගේ සරදම් වලට මුහුණ දීමයි.

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පුහුණුවීම් අතරතුරේදීත් පුහුණුකරු නික් පොතාස් මහතා මාලිංගට සරදම් කළේ වියපත් තැනැත්තෙකු කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන යන ආකාරය රඟපා පෙන්වමිනි.

මාලිංගට සරදම් කිරීම ඔහු අවුස්සා ගැනීමේ බලාපොරොත්තුවක් මිස ඔහුට අගෞරව කිරීමක් නොවේ. වේග පන්දු යවන්නකුගෙන් වැඩිපුර යමක් කරවා ගැනීමට නම් ඔහු අවුස්සා ගැනීම ඉතාමත් හොඳ උපක්‍රමයකි. වරක් එංගලන්ත නායක බොබ් විලිස්ද එවැන්නක් කළේය.

අළු බඳුන තරගයකදී මහත් අළස ලීලාවෙන් පන්දු යවමින් සිටි ඉයන් බොතම් ඇමතූ විලිස්, “ඒයි ඉයන්, උඹට වඩා හොඳට පන්දු යවන්න උඹේ නැන්දම්මාටත් පුළුවන්” යයි කීවේය. කෝපාවිෂ්ඨ වූ බොතම් කඩුලු 6 ක් දවාගත් අතර තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමිවිය.

වසර කිහිපයකට ඉහත එංගලන්තයේදීම පැවැති ටෙස්ට් තරගයදී දුර්වල පහරකින් දැවී ගිය ධම්මික ප්‍රසාද්ට ක්‍රීඩක කාමරය තුළදී මුහුණදීමට සිදුවූ සරදම් හේතුවෙන් එංගලන්ත ඉනිම ආරම්භයේදීම ඔහු කළ පන්දු යැවීම නිසා තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවිය.

ඉන්දීය පිතිකරුවෝ පාලනය කරගත නොහැකි තරමටම ඉදිමී සිටිති. හතරේ සීමාව ඔවුන්ගේ දෙපතුල අසළ ඇති ගානය. ඉන්දීය පිතිකරුවන් මෙල්ල කරගැනීමට හැකි අයෙක් වේ නම් ඒ තමන් බව මාලිංග අවස්ථා කිහිපයකදීම ඔප්පු කර තිබේ. ඉන්දීය පිතිකරුවන් මෙල්ල කරගතහොත් ඉතිරි හරිය බලාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෝ සිටිති. අඩුතරමේ ඒ ගැන බලාපොරොත්තුවක් හෝ තැබිය හැකිය.

දියේ ගසාගෙන යන මිනිසකුට පිදුරු ගහේත් එල්ලෙන්නට සිතීම අසාධාරණ නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය එයයි.

ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර, අඛිල ධනංජය, ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග සහ මාලින්ද පුෂ්පකුමාර

ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), රෝහිත් ෂර්මා, ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩා්‍යා, අක්ෂර් පතෙල්, යුස්වේන්ද්‍ර චාහල්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා, අජින්ක්‍යා රහනේ, මනිීෂ් පාණ්ඬේ, කුල්දිප් යාදව් සහ ශාර්දුල් ඨාකූර්


අදහස් (0)

මාලිංග ඇවිස්සීම උපක්‍රමයක් ලෙසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.