Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් හතුරුසිංහට එකඟවෙයි

මැතිව්ස් හතුරුසිංහට එකඟවෙයි

Nisanka Sandeepani - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නිල වශයෙන් අද දින (9 වැනිදා) පත්කරන ලදි. මෙම පත්කිරීම 2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා බල පැවැත්වේ. නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ දිරිමත් කිරීම හේතුවෙන් යළිත් වරක් කණ්ඩායමේ නායකත්වය බාර ගැනීමට තමන් එකඟ වූ බව මැතිව්ස් අද පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. 

මින් මාස 6 කට පමණ පෙර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාවේදී 2-3 ක් ලෙසින් එක්දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස් විය. ඒ වන විට ඔහු එක්දින තරග 98 කදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබූ අතර ඉන් තරග 47 ක් ජයග්‍රහණය කරා මෙහෙයවා තිබිණ. මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 45 ක් පරාජයට පත් වූ අතර තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් විය. 

මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසු උපුල් තරංග, චාමර කපුගෙදර, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා වරන් වර එක්දින කණ්ඩායම මෙහෙයවූ අතර ඔවුන් කිසිවකුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලියක් ජයගැනීමට නොහැකි විය. 

ඒ හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගෙන කණ්ඩායමට ස්ථිර නායකයකු පත්කිරීමට නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට අවශ්‍ය වූ අතර ඔහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ගේ නම් නායකත්වය සඳහා නිර්දේශ කෙරිණ. එහෙත් සීමිත ඕවර තරග වලදී දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය ස්ථාවර නොවන හෙයින් මැතිව්ස් නායකත්වයට පත්කරන ලදි.

මේ මස බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට සහ සිම්බාබ්වේට එරෙහිව තරග වැදීමට නියමිතය. 

එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා මැතිව්ස් පත්කළද, දිනේෂ් චන්දිමාල් තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. 

-036


අදහස් (0)

මැතිව්ස් හතුරුසිංහට එකඟවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.