Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මුයින් අලී ඉන්දියානුවන් අඩපණ කරයි

මුයින් අලී ඉන්දියානුවන් අඩපණ කරයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාමත් අවදානම් සහගත තත්ත්වයකට වැටී සිටි නමුත් මුයින් අලීගේ විශිෂ්ට පන්දු යැවීමට ස්තුති වන්නට නැවත වරක් තරගයට අවතීර්ණ වූ එංගලන්ත ක්‍රීඩකයෝ සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඉන්දීය මුල් ඉනිම ලකුණු 273 කට සීමා කළහ.

එංගලන්ත මුල් ඉනිම ලකුණු 246 කට සීමා කළ ඉන්දියානුවෝ තරගයේ දෙවැනි දිනය වූ සිකුරාදා දිවා ආහාරයෙන් පසුව කඩුලු 2 කට ලකුණු 142 ක් ලබාගනිමින් ඉතාමත් ප්‍රබල තත්ත්වයක පසුවූහ. එහෙත් සෑම් කරන් විසින් විරාට් කෝලි දවාගැනීමෙන් පසුව තරගයේ ග්‍රහණය දැඩිකළ එංගලන්ත ක්‍රීඩකයෝ ලකුණු 131 ක් තුළ ඉන්දීය පිලේ අවසන් කඩුලු 8 ම බිම දැමූහ.

කෙසේ වෙතත් එංගලන්තයේදී සිය පළමු වැනි ටෙස්ට් ශතකට ලබාගත් චෙටේස්වාර පුජාරාගේ ඉනිම නිසා ඉන්දියානුවෝ මුල් ඉනිමේදී ලකුණු 27 ක ජයක් අත්කර ගත්හ. දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 6 ක් ලබා සිටි හෙයින් ඉන්දියාවට වඩා ලකුණු 21 ක් පසුපසින් සිටියේය.

ඉන්දීය ඉනිමේ 8 වැනි ඕවරයේදී පිටියට පිවිසි චෙටේස්වාර් පුජාරා, එතැන් සිට ඉනිම පුරාම පන්දුවට පහර දෙමින් විරාට් කෝලි සමග එක්ව ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. එහෙත් කෝලිගේ දැවී යාම ඉන්දීය ඉනිමට වැදුණු මරු පහරක් විය. ඉන්දීය ඉනිමේ 8 වැනි කඩුල්ලත් 195 දී බිඳ වැටුණ නමුත් පසුපෙළ පිතිකරුවන් වූ ඉෂාන්ත් ෂර්මා (14) සහ ජස්ප්‍රීට් බුම්රා (6) සමග එක්ව තවත් ලකුණු 78 ක් එකතු කිරීමට පුජාරා සමත් වූයේය. පැය හයකට ආසන්න කාලයක් පිටියේ රැඳුණු පුජාරා පන්දු 257 කට මුහුණ දෙමින් හතරේ පහර 16 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.

මාස 5 කට පසුව නැවතත් කණ්ඩායමට කැඳවූ මුයීන් අලී, තේරීම් කමිටු නිලධාරීන්ගේ තීරණය නිවැරදි බට ටක්ටකෙටම සනාථ කරමින් ලකුණු 63 කට කඩුලු 5 ක් දවාගත්තේය. මුයින් අලී, තේ පානයට පෙර යැවූ අවසන් පන්දුවෙන් රිෂාබ් පන්ට් දවාගන්නා විට පන්දු 29 කට මුහුණ දී සිටි කඩුලු රකින්නාට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි වී තිබිණ.

තේ පානයෙන් පසුව හර්දික් පාණ්ඩ්‍යාගේ ඉනිම අවසන් කළ මුයින් අලී පිට පිටම යවන ලද පන්දු දෙකකදී රවිචන්ද්‍රන් අශ්වින් සහ මොහොමඞ් සාමි අපසු ක්‍රීඩාගාරයට යැවූහ.  එසේ වුවත් පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ චෙටේස්වාර් පුජාරා ඉන්දීය පිල ඉදිරියට ගෙන ගියේය.

එහෙත් ෂෝට් ලෙග්හි සිටි ඇලිස්ටෙයාර් කුක්ගේ උඩපන්දු රැකීමකින් ඉෂාන්ත් ෂර්මාගේ පිතිහරඹය අවසන් වීමත් සමගම අලීට සිය 5 වැනි කඩුල්ල ලැබිණ. 31 හැවිරිදි මුයින් අලී ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවාගත් පස්වැනි අවස්ථාව මෙයයි.

තරග 5 කින් සමන්විත තරගාවලියේදී මේ වන විටත් 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටින එංගලන්ත කණ්ඩායමට තරගාවලිය ජයගැනීම සඳහා අවශ්‍ය වන්නේ තවත් එක ජයක් පමණි. එහෙත් ඉන්දීය පිලට තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගය ජයගත යුතුම වී තිබේ.


එංගලන්ත පළමු ඉනිම - ඕවර 76.4 කදී සියලුදෙනා දැවී 246
(බෙන් ස්ටෝක්ස් 23, ජොස් බට්ලර් 21, මුයින් අලී 40, සෑම් කරන් 78, ජස්ප්‍රීට් බුම්රා 46/3, ඉශාන්ත් ශර්මා 26/2, රවිචන්ද්‍රන් අශ්වින් 40/2, මොහොමඩ් ශාමී 51/2)

ඉන්දීය පළමු ඉනිම - ඕවර 56.3 කදී කඩුලු 5 ක් දැවී 181
(ශීකර් ධවාන් 23, ලෝකේෂ් රාහුල් 19, චෙටේෂ්වාර් පුජාරා නොදැවී 132, විරාට් කෝලී 46, අජින්ක්‍යා රුනේ 11, ඉෂාන්ත් ෂර්මා 14, ස්ටුවර්ට් බ්‍රෝඞ් 63/3, මුයින් අලී 63/5)

එංගලන්තය දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 06

 


අදහස් (0)

මුයින් අලී ඉන්දියානුවන් අඩපණ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.