Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති

මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත යොවුන් පිලේ නායක හැරී ටෙක්ටර් කීවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එකතු කිරීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්වනු දැකීම තම අපේක්‍ෂාව බවයි. එහෙත් කමිඳු මෙන්ඩිස් නම් වූ තුන් ඉරියව් ක්‍රීඩකයා නිසා සිය අපේක්‍ෂා දෙකින් එකක්වත් ඉෂ්ඨ කර ගැනීමට අයර්ලන්ත යොවුන් නායකයාට නොහැකි විය.

යොවුන් ලෝක කුෂලාන තරගාලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අයර්ලන්තය පරදවා කඩුලු 7 ක විශිෂ්ට ජයක් අත්කරගත්තේය. මෙම තරගය නවසීලන්තයේ වැන්ගරෙයිහි කෝබම් ඕවල් පිටියේදී අද (14 වැනිදා) පැවැත්විණ.

විසිහය (26) වැනි ඕවරය නිමා වන විට කඩුල්ලක් දැවී ලකුණු 97 ක් ලබා සිටි අයර්ලන්ත ඉනිම මෝගන් ටොපින් දුවද්දී දැවී යාමත් සමගින් කඩා වැටෙන්නට විය. ලකුණු 117 දී නායක ටෙක්ටර් දැවී යාමත් ඉනිමේ නිමාවත් අතර රැස්කෙරුණු ලකුණු 90 දී කඩුලු 6 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයාද වන කමිඳු මෙන්ඩිස් ලකුණු 35 කට කඩුලු 3 ක් දවාගත් අතර අයර්ලන්ත යොවුන් පිලේ ඉනිම ලකුණු 207 කට සීමා කෙරුණේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙනි.

ලකුණු 208 ක ඉලක්කයක් කරා යාමට පිටියට බට ශ්‍රී ලංකා යොවුන් පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි. හසිත බෝයගොඩ සහ නිපුන් ධනංජය දෙදෙනාම ලකුණු 9 ක් වෙත්දී ආපසු හැරී ක්‍රීඩාගාරයට ගියහ. එහෙත් තවත් ධනංජය කෙනෙක් පිටියේ සිටියේය.

ධනංජය ලක්ෂාන් නොසැලී සිය පිත්ත හසුරුවමින් සිටින අතරේ අයර්ලන්ත යොවුන් පිලේ නායකයා තරගය තමන්ගේ පැත්තට හරවා ගැනීමට මාන බලමින් සිටියේ ලකුණු ගලා ඒම පාලනය කරමිනි. ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු 50 වාර්තා වන විටත් ඕවර 12 ක් නිමා වී තිබිණ. ලකුණු ලබා නොගන්නා සෑම පන්දුවක් වටාම පීඩනය ගොඩනැඟෙමින් තිබිණ.

මැක්ස් නෙවිල් විසින් ක්‍රිෂාන් සංජුල දවාගනු ලැබීමත් සමගම ලකුණු 51 කට කඩුලු 3 ක් විය. එහෙත් නායකයන් යනු අර්බුදකාරී තත්ත්වයකදී කණ්ඩායම තනි අතින් ඇදගෙන යන්නෝ මිස පසුබසින්නෝ නොවෙති. කමිඳු මෙන්ඩිස් කළේද එයයි.

අයර්ලන්ත පන්දු යවන්නන්ට හිස එසවීමට ඉඩ නොදුන් මෙන්ඩිස් පිටියට පිවිසි විගසම ආක්‍රමණයට පිළිපන්නේය. හතරේ පහර එකින් එක එක්වෙන්නට විය. කඩුලු අතර දිවීම වේගවත් වූයේය.

අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගත් බැවින් පන්දු රකින්නෝ පීඩනයට පත්වූහ. පන්දු රැකීම තව තවත් දුර්වල විය.

කමිඳුගේ ලකුණු ලබාගැනීමේ රටාව ලක්ෂාන්ට ආත්ම විශ්වාසය එන්නත් කරවන්නක් වූ බැවින් ඔහු නිර්භයව තමන්ට සුපුරුදු පුල් පහර කරා ගියේය. සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව වඩාත් වේගවත් වූ ලක්ෂාන් අයර්ලන්ත පන්දු යවන්නන්ට එලව එලවා පහර දෙන්නට වූයෙන් අයිරිෂ් ජාතිකයෝ හිස් බිමට නමා ගත්හ.

සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 157 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙම අලංකාර පිතිකරුවෝ දෙදෙනා කඩුලු හතක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ පසුකර කැඳවාගෙන ගියහ.

තරගයේ රිද්මය වෙනස් කළ මෙන්ඩිස් ජයග්‍රාහී ලකුණ ලබාගත් පිතිකරුවාද විය. පන්දු 120 කට මුහුණ දුන් ලක්ෂාන් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසද්දී නොදැවී ලකුණු 74 ක් ලබාගත් මෙන්ඩිස් මුහුණ දුන් පන්දු 73 කින් 6 ක් හතරේ සීමාවට යැවීය.

පෙරවරුවේදී පැවැති වර්ෂාව හ්තුවෙන් තරගය ඕවර 48 කට සීමා විය. 

ඡායාරූප - අන්තර්ජාතික ක්‍රිකට් සභාව අනුග්‍රහයෙනි


අදහස් (0)

මෙන්ඩිස් - ලක්ෂාන් ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.