Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රෝහිත්ගේ වික්‍රමාන්විත ඉනිම අපතේ යයි

රෝහිත්ගේ වික්‍රමාන්විත ඉනිම අපතේ යයි

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෝහිත් ෂර්මා වික්‍රමාන්විත පිතිහරඹයක නිරත වූ නමුත් සෙසු පිතිකරුවන් අසාර්ථක වූ හෙයින් සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වැනි එක්දින තරගයේදී ඕස්ටේ්‍රලියානුවෝ ලකුණු 34 ක පහසු ජයක් ලබාගත්හ. නවකයන් රැසකගෙන් සමන්විත ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 


ලකුණු 289 ක ඉලක්කයක් හඹා යාමට පිවිසි ඉන්දීය ඉනිමේ පළමු කඩුලු තුනම ලකුණු 4 ක් තුළදී ඇද වැටිණ. අනතුරුව පැමිණි මහේන්ද්‍ර සිං දෝනි (51) සමග එක්වූ ෂර්මා පස්වැනි කඩුල්ල වෙනුවන් ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. එහෙත් ඒ වෙනුවෙන් පන්දු 171 ක් වැයවීම හේතුවෙන් එතැන් සිට ඉන්දීය ඉනිම ගොඩගැනීම අසීරු විය. ඕවර 50 ක් නිමාවේදී ඉන්දීය පිලට කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 254 ක් පමණි. 


ඉන්දියාව ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට අභීත උත්සාහයක නිරත වූ රෝහිත් ෂර්මා පන්දු 129 කට මුහුණ දෙමින් ලකුණු 133 ක් ලබාගත් අතර ඉන්දීය ඉනිම ආරම්භයේදීම ඊට පළමු පහර ගැසූ ජායි රිචඞ්සන් ලකුණු 26 ට කඩුලු 4 ක් දවාගත්තේය. 


තරගයට පෙර සත්කාරක ඕස්ටේ්‍රලියානුවන් සිටියේ එතරම් වාසිදායක වාතාවරණයක නොවේ. ඉතිහාසයේ පළමු වතාවට සිය මව්බිමේදීම ඉන්දියානුවන් හමුවේ ටෙස්ට් තරගාවලියක පරාජය ලබා සිටි ඕස්ටේ්‍රලියානුවෝ අවසන් එක්දින තරග 24 න් ජයගෙන තිබුණේ තරග 3 ක් පමණි. එහෙත් ටෙස්ට් තරගාවලියට තෝරා නොගත් පීටර් හැන්ඞ්ස්කොම්බ් ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා විය. 


ඉන්දියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට තෝරා නොගත් නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට තරගාවලිය සඳහා පීටර් හැන්ඞ්ස්කොම්බ් තෝරාගෙන තිබේ. පීටර් තමන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ තීරණයට හේතු පැහැදිළි කළේ හතරේ පහර 6 කින් සහ හයේ පහර දෙකකින් සිය ඉනිම අලංකාර කරමිනි. 


කෙසේ වෙතත් ඉතාමත් අවාසනාවන්ත ආකාරයෙන් දෝනි දැවී නොගියා නම් තරගයේ ඉරණම වෙනස් වීමට බොහෝ ඉඩකඩ තිබිණ. මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 3 කට 141 ක්ව තිබියදී ජේසන් බර්නොෆ්ගේ පන්දුවක් හමුවේ දෝනි කඩුල්ල මුවා කළේ යයි විනිසුරුවරයා තීරණය කළේය. එය නැවත විමසීම සඳහා විතීවි අවස්ථා ඉතිරිව නොතිබීම හේතුවෙන් දෝනි ආපසු ක්‍රීඩාගාරයට ගියද පසුව රූපවාහිනී පුනරූපන වලින් හෙළිවූයේ පන්දුව පා ඉන්නෙන් ඉවත පතිත වන බවයි. ක්‍රිකට් නීති පොතට අනුව එය දැවී යාමක් නොවේ. 


මෙම අවස්ථාවේදී තරගයේ විස්තර විචාරයේ යෙදෙමින් සිටි ෂේන් වෝන් එම තීරණය සම්බන්ධයෙන් විනිසුරුවරයා දැඩිව විවේචනය කළේය. 


අද සිය 333 වැනි එක්දින තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 10,000 සීමාව පසුකළ මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව වෙනුවෙන් එක්දින ලකුණු 10,000 කඩයිම පසුකළ පස්වැනි පිතිකරුවා විය. කඩුලු 3 ක් ලකුණු 04 කට බිඳ වැටී තිබියදී පිටියට පිවිස, පන්දු 96 පුරා සිය කඩුල්ල රැකගත් හිටපු නායකයා හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් පමණක් සෑහීමට පත්වූයේ විනිසුරු තීරණයට හිස නමමිනි. එය ඔහුගේ 68 වැනි එක්දින අර්ධ ශතකයද විය. 


ඇදහිය නොහැකි පහර රැසකින් සිඞ්නි නරඹන්නන් පිනවූ රෝහිත් ෂර්මා සිය 22 වැනි එක්දින ශතකය වෙනුවෙන් වැය කළේ පන්දු 110 ක් පමණි. රෝහිත්ගේ දැවී යාමත් සමගින් ඉන්දියානුවන්ගේ ජය සොයා යාම නතර විය. එතැන් සිට පැවැතියේ පිතිහරඹයක් පමණි. 


කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානුවෝද ලකුණු 41 කඩ කඩුලු දෙකක් අහිමි කරගත්හ. එහෙත් උස්මන් කවාජා (59), ෂෝන් මාෂ් (54) සහ පීටර් හැන්ඞ්ස්කොම්බ් (73) තිදෙනාගේ සාර්ථකත්වය මත නියමිත ඕවර 50 නිමාවේදී ලකුණු 288 ක් ලබාගත්තේ සිඞ්නි ක්‍රීඩාංගණයේදී ඉන්දීය පන්දු යවන්නන්ගෙන් වැඩිපුර තර්ජනයක් එල්ල නොවූ බැවිනි. 


තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය 15 වැනිදා ඇඩිලේඞ්හිදී පැවැත්වේ. 


ඕස්ටේ්‍රලියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 288 යි
(අලෙක්ස් කේරි 24, උස්මන් කවාජා 59, ෂෝන් මාෂ් 54, පීටර් හැන්ඞ්ස්කොම්බ් 73, මාකස් ස්ටොයිනිස් නොදැවී 47, ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී 11, බුවනේෂ්වර් කුමාර් 66/2, කුල්දිප් යාදව් 54/2)


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 9 ට 254 යි
(රෝහිත් ෂර්මා 133, මහේන්ද්‍ර සිං දෝනි 51, දිනේෂ් කාර්තික් 12, බුවනේෂ්වර් කුමාර් නොදැවී 29, ජේසන් බර්නොෆ් 39/2, ජායි රිචඞ්සන් 26/4, මාකස් ස්ටොයිනිස් 66/2)


අදහස් (0)

රෝහිත්ගේ වික්‍රමාන්විත ඉනිම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.