Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලසිත් මාලිංගට තවමත් දොර විවෘතයි

ලසිත් මාලිංගට තවමත් දොර විවෘතයි

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිලෙන් ඉවතට විසිවී සිටියද ලසිත් මාලිංග කිසිසේත්ම අමතක කර නැති බවත් ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් අතර සිටින බව ඉතා හොඳින් තමන්ගේ මතකයේ රැඳී තිබෙන බවත් තේරීම් කමිටු නිලධාරීහු කියති.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 අන්තර් පළාත් තරගාවලියේදී නැවතත් දස්කම් අතරට ඒමට හැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවශ්‍යතාව අනුව කණ්ඩායමට නැවතත් එක්වීමට අවස්ථාව තිබෙන බවත් තේරීම් කමිටු නිලධාරීහු අවධාරණය කරති.

දකුණු අප්‍රිකාව සමග පැවැති ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් පසුව කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (15 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී තේරීම් කමිටු නිලධාරීන් වූ චන්දික හතුරුසිංහ සහ ගාමිණී වික්‍රමසිංහ යන මහත්වරු එසේ කීහ.

“අනිත් ඕනම ක්‍රීඩකයෙක් වගේ නැවත කණ්ඩායමට එන්න එයාටත් අවස්ථාව තියෙනවා. එයා දේශීය තරගාවලියට ආයෙත් ක්‍රීඩා කරන්න ඕනේ. එම තරගාවලියෙදි ඔහු හොඳින් දස්කම් දැක්වූවොත්, තේරීම් කමිටුවට අවස්ථාව තියෙනවා, එයාගේ දක්‍ෂතාවයත්, අපේ කණ්ඩායමේ අවශ්‍යතාත් අනුව නැවතත් එයාව කණඩායමට තෝරාගන්නවාද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න” යයි චන්දික හතුරුසිංහ මහතා පැවසීය.

චන්දික හතුරුසිංහ මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා මෙන්ම තේරීම් කමිටුවේද සාමාජිකයෙකි.

තේරීම් කමිටු සාමාජික ගාමිණී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ලසිත් මාලිංග සම්බන්ධ ප්‍රශ්නයේදී තේරීම් කමිටුවත්, කණ්ඩායමේ පුහුණුකරු සහ නායකයා ඇතුළු සියලුම දෙනාත් එකම මතයක සිටින බවයි. ඉදිරියේ එන අන්තර් පළාත් විස්සයි-20 තරගාවලියේදී ලසිත් මාලිංගට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන බවත් එහිදී දස්කම් දැක්වූවහොත් නැවත කණ්ඩායමට එක්වීමේ අවස්ථාව තිබෙන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට එක්දින තරග 204 කට සහ විස්සයි-20 තරග 68 කට ක්‍රීඩා කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නා අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ඉන්දීය පිලට එරෙහිව පසුගිය වසරේ කොළඹදී පැවැති විස්සයි-20 තරගයකදීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වරින් වර විවිධ ශාරීරික ආබාධ වලට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලන දස්කම් වලට ඉතාමත් අහිතකර ලෙසින් බලපෑ නමුත් මේ වන විට තත්ත්වය තරමක් දුරට සමනය වෙමින් පවතින බවද පුහුණුකරු හතුරුසිංහ මහතා පැවසීය.

“පසුගිය හය මාසයක කාලය ඇතුළත ඒ සම්බන්ධයෙන් අපි සීඝ්‍ර දියුණුවක් ලබා තියෙනවා. පසුගිය මාස හතරක කාලයේදීම කණ්ඩරා ඉරියාම් වැනි දේවලට අපේ ක්‍රීඩකයන් මුහුණ දුන්නේ නෑ....ඒ සම්බන්ධයෙන් භෞත චිකිත්සකවරුන්ටත් අභ්‍යාසක වරුන්ටත් ගෞරවය හිමිවිය යුතුයි” යයිද හතුරුසිංහ මහතා කීවේය.

දුෂ්මන්ත චමීර තමන් අපේක්‍ෂා කළාට වඩා ඉක්මනින් සුවය ලබමින් සිටින බවත් නුවන් ප්‍රදීප් දෙවතාවක්ම ආබාධවලට ලක්වූයේ පන්දු රැකීමට යාමෙන් බැවින් විස්සයි-20 වැනි අධි ක්‍රියාකාරී තරග වලට ඔහුට එකවරම යොමු කිරීම අවදානම් බවත් පුහුණුකරුවාගේ අදහසයි.

වමත් පිතිකරු ළහිරු තිරිමාන්න වුවද ශ්‍රී ලංකා තේරීම් කමිටු ලයිස්තුවේ ඉහළින්ම සිටින නමුත් ඔහුට කණ්ඩායම තුළ අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටිය යුතු බවත් අවස්ථාව ලැබුණු විගසින් ඔහුට ඒ අවස්ථාව හිමිවන බවත් ගාමිණී වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ තරග පරදින පමණින් කණ්ඩායමේ වෙනස්කම් කිරීමට අදහස් නොකරන බවත් ක්‍රීඩකයන්ට ඒ ඒ ස්ථාන වල ස්ථාවර වීම සඳහා අවස්ථාව දීම කණ්ඩායමේ අපේක්‍ෂාව බවත්ය.

“හැමෝටම ඒ කෙනාගේ හොඳම තැන, නැත්නම් එයාට අවශ්‍යම තැන ක්‍රීඩා කරන්න බැරිවෙනවා. මොකද කණ්ඩායමේ අවශ්‍යතාව අනුව තමයි ක්‍රීඩා කරන්න වෙන්නේ....දසුන් ශානකට හම්බවුණ අවස්ථා වලින් එයා උපරිම ප්‍රයෝජන ගත්තා” යයිද මැතිව්ස් පැවසීය.

 


අදහස් (0)

ලසිත් මාලිංගට තවමත් දොර විවෘතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.