Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විනය විරෝධී හැසිරීම ඉවසන්න බෑ - මැතිව්ස්

විනය විරෝධී හැසිරීම ඉවසන්න බෑ - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රේණිගත ලයිස්තුවේ කෙතරම් පහළට වැටී සිටියද කණ්ඩායමේ විනය ආරක්‍ෂා කරගැනීම අතිශයින් වැදගත් බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කරපින්නාගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස් කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත ඕවර සංචිතයේ සිටි ක්‍රීඩකයන් දෙදෙනකුම මේ වන විට තහනමකට ලක්ව සිටීම සම්බන්ධයෙන් කළ විමසීමේදී මැතිව්ස් එසේ කියා සිටියේය.

 “කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරමින් ඉන්න වෙලාවක ක්‍රීඩකයෙක් (ධනුෂ්ක ගුණතිලක) අහිමි වීම කණගාටුවක් තමයි. ඒත් විනයක් නැති කම නම් ඉවසන්න පුළුවන් දෙයක් නෙමේ. කවුරුහරි ඒ වගේ අවදානමක් ගන්නවා නම් ඊට පස්සෙ වෙන දේවලුත් ඒ අයටම බලාගන්න වෙනවා” යයි රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

“එයා කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් කරන්න දෙයක් නෑ. මේ වගේ දේවල් ඉවසන්න බෑ......කණ්ඩායම වෙනුවෙන් කිසියම් නීති මාලාවක් තියෙන කොට කවුරු වුණත් ඒවා පිළිපදින්න ඕනේ.”

“විශේෂයෙන්ම ඔවුන් ක්‍රීඩා පිටියෙන් පිටතදී කරන දේවල් ගැනත් අපි ඇහැ ගහගෙනයි ඉන්නේ. මොකද ඒකේ බලපෑම කණ්ඩායමටම තියෙනා. ඒ හින්දා හැම කෙනෙක්ම ක්‍රීඩා පිටිය ඇතුළතදී විතරක් නෙමේ එයින් පිටතදීත් තමන් සම්බන්ධයෙන් වගේම කණ්ඩායමේ කීර්තිය සම්බන්ධයෙනුත් පරෙස්සම් වෙන්න ඕනේ.” යයිද ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැති පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගත් හෝටලයේදීම වෙනත් කාමරයකදී  කාන්තාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ මිතුරකු අත්අඩංගුවට ගන්නා ලදි. ධනුෂ්ක ගුණතිලක මෙම සිදුවීමට සම්බන්ධ නැතැයි ප්‍රශ්න කිරීමකින් පසුව පොලිසිය ප්‍රකාශ කළ නමුත් කණ්ඩායමේ සාමාජිකයන්ට පනවා ඇති විනය නීති මාලාව අනුව නියමිත වේලාවට පෙර කාමරයට නොපැමිණීම හේතුවෙන් ධනුෂ්කට එක්දින තරග 3 ක් තහනම් කරන ලදි.

පසුගිය වසරේදීත් එවැනිම චෝදනාවකට වරදකරුවා වීමෙන් පරිවාස කාලයකට යටත්ව සිටියදී නැවත වරක් එම වරදම කළ හෙයින් තවත් අන්තර්ජාතික තරග තුනක් ධනුෂ්කට තහනම් කරන ලදි.  

 මේ අනුව ධනුශ්ක ගුණතිලක එක්දින තරග හයක තහනමකට ලක්ව සිටි.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ සිටි තවත් ක්‍රීඩකයකු වන පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේද මේ වන විට වසරක පරිවාස කාලයට යටත්ව සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී රාත්‍රියේ ඉවතට ගිය වැන්ඩසේ නියමිත කාලයට පෙර ආපසු නොපැමිණීම හේතුවෙන් ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදලින් 20% ක් දඩ වශයෙන් කපා හරින ලදි.

විනය විරෝධී හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු අහිමි වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානය දක්වා පහළට වැටී සිටියදීය. ඊට අමතරව බටහිර ඉන්දීය සංචාරයේදී ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළේය යන සිදුවීමක් හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල්ගේ සේවයද ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වී තිබේ.

“පසුගිය කාලයේදීම අපේ එක්දින තරග දස්කම් හොඳ මට්ටමක තිබුණේ නෑ. කණ්ඩායම හොඳින් සෙල්ලම් කළෙත් නෑ.” යයි මැතිව්ස් කීවේය.

“ඒ කාලය ඇතුළත අපට එක්දින නායකයන් කීප දෙනෙක්ම හිටියා. ඒ කොහොම වුණත් ඒ කාලයේදී ක්‍රීඩා කළාට වැඩිය හොඳින් දැන් ක්‍රීඩා කරන්න වෙනවා..” යයි දකුණු අප්‍රිකනු පිලට එරෙහිව එක්දින තරගාවලියට පෙරදින ඇන්ජලෝ මැතිව්ස් දඹුල්ලේදී කියා සිටියේය.

“ටෙස්ට් තරගාවලියේදී අපි හොඳ ආරම්භයක් ගත්තා. ඒත් එක්දින කණ්ඩායමේදී දකුණු අප්‍රිකානු පිල තරමක් වෙනස්. ඔවුන් එක්ක ඉතාමත් හොඳ පළපුරුදු ක්‍රීඩකයන් ඉන්නවා. ඒ නිසා මේක ලේසි වෙන එකක් නෑ......ඒ කොහොම වුණත් අපි හරියට ක්‍රීඩා කළොත් ඔවුන් පරද්දන්න අපට පුළුවන්” යයිද මැතිව්ස් පැවසීය.


ඡායාරූපය : කාංචන කුමාර ආරියදාස

 


අදහස් (0)

විනය විරෝධී හැසිරීම ඉවසන්න බෑ - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.