Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි20 තරගාවලියේ ජය නවසීලන්තයට

විස්සයි20 තරගාවලියේ ජය නවසීලන්තයට

Nisanka Sandeepani - 2019 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හි, සෙඩන් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 208 ක් පමණි. එහිදී මිචෙල් සෑන්ට්නර් සහ ඩැරිල් මිචෙල් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී මාවත හසුරා දැමූහ.

තරගය නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටිමින් වේගවත් පිතිහරඹයක නිරත වූ දිනේෂ් කාර්තික් (නොදැවී 33) සහ කෘනාල් පාණ්ඩ්‍යා (නොදැවී 26), ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 63 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 16 කට මුහුණදුන් දිනේෂ් කාර්තික්ගේ ඉනිමට හයේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 13 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. එහෙත් තරගය ජයගැනීම සඳහා අවසන් ඕවරයේදී අවශ්‍ය වූ ලකුණු 16 න් ඔවුන් දෙදෙනාට ලබාගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ විජේ ශංකර්, පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 43 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය. රෝහිත් ශර්මා හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක්ද, රිෂාබ් පාන්ට් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 28 ක්ද ලබා සිටියදී දැවී ගියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 212 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ කොලින් මුන්රෝ පන්දු 40 කදී ලකුණු 72 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි. ටිම් සෙයිෆර්ට් (43) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 80 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද මුන්රෝ සමත් විය.

පන්දු 25 කට මුහුණදුන් සෙයිෆර්ට් හයේ පහර 3 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසූ අතර නායක විලියම්සන් පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 212
(ටිම් සෙයිෆර්ට් 43, කොලින් මුන්රෝ 72, කේන් විලියම්සන් 27, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 30, ඩැරිල් මිචෙල් නොදැවී 19, කුල්දීප් යාදව් 26/2)

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 208
(රෝහිත් ශර්මා 38, විජේ ශංකර් 43, රිෂාබ් පාන්ට් 28, හර්දීක් පාණ්ඩ්‍යා 21, දිනේෂ් කාර්තික් නොදැවී 33, කෘනාල් පාණඩ්‍යා නොදැවී 26, මිචෙල් සෑන්ට්නර් 32/2, ඩැරිල් මිචෙල් 27/2)

 

- 036


අදහස් (0)

විස්සයි20 තරගාවලියේ ජය නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.