Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner විස්සයි-20 නායකත්වය යළිත් චන්දිමාල්ට

විස්සයි-20 නායකත්වය යළිත් චන්දිමාල්ට

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පාදයේ අබාධයකට ලක්වීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තරගාවලියේදීත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබේ.

වසර හතරකට ඉහතදීත් ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ ලෝක කුසලාන කණ්ඩායමේ නායකයාව සිටි චන්දිමාල්ට නායකත්වය අහිමි වූයේද බංග්ලාදේශයේදීමය. ඒ ලකුණු අතර නොසිටීමේ පාපයෙනි.

චන්දිමාල් විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ වසරකට පමණ පසුව වන අතර අවසන් වරට ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සය20 තරගයකට සහභාගි වී ඇත්තේ 2017 වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිවය.

2010 වසරේදී නවසීලන්තයට එරෙහිව විස්සය20 ජාත්‍යන්තර වරම් දිනාගත් චන්දිමාල් මේ දක්වා විස්සය20 තරග 48 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී අර්ධ ශතක 4 ක් සමගින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 720 කි. තරගයකදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 18 ක් වන අතර පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 103.29 ක අගයක් ගනී.

2013 වසරේ සිට 2017 වසර දක්වා විස්සය20 තරග 22 කදී චන්දිමාල්, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 10 කදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණයන්ද, තරග 12 කදී පරාජයන්ද හිමිව තිබේ. කුමාර් සංගක්කාර සමග එක්ව වැඩිම විස්සයි20 තරග සංඛ්‍යාවකදී (තරග 22 බැගින්) ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ සම වාර්තාවටද චන්දිමාල් හිමිකම් කියන අතර බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීමත් සමග එම වාර්තාවේ තනි අයිතිය ඔහුට හිමිවනු ඇත.

චන්දිමාල්ට අමතරව වේග පන්දු යවන්නන් වන ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක සහ අසිත ප්‍රනාන්දුද, දඟ පන්දු යවන්නන් වන ජෙෆ්රි වැන්ඩසේ සහ අමිල අපොන්සුද, තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ද ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔවුන් අතරින් 22 හැවිරිදි ෂෙහාන් මධුෂංක සහ 20 හැවිරිදි අසිත ප්‍රනාන්දු තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති අතර 35 වැනි වියේ පසුවන ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ වසර 4 හමාරකට පමණ පසුවය.

මෙන්ඩිස්ට අමතරව ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, අසේල ගුණරත්න සහ දසුන් ශානක තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටින අතර උපුල් තරංග, කුසල් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරති.

අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි සධීර සමරවික්‍රම, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී සංචිතයේ ස්ථාන අහිමිවී ඇත.

දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය ලබන 15 වැනිදා ඩකාහිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 18 වැනිදා ශිලාත්හිදී පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ෂෙහාන් මධුෂංක, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සු, ජීවන් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු  

 


අදහස් (0)

විස්සයි-20 නායකත්වය යළිත් චන්දිමාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.