Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්

ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට නොලැබීම හේතුවෙන් ශිලාත්හිදි අද (18 වැනිදා) පැවැති දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලකුණු 75 කින් ජයගත් ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස තරගාවලියද ජයගැනීමට සමත්විය. පිට පිට විස්සයි20 තරගාවලි හතරක් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව වසරකට පසුව තරගාවලි ජයක් හිමිකර ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට ඕවර 18.4 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි.


නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරමින් සිටි මහමුදුල්ලා අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුව දැවීයන විට පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 41 ක් රැස් කළේය. ලකුණු 20 සීමාව පසුකිරිමට මහමුදුල්ලා, තමීම් ඉක්බාල් සහ මොහොමඞ් සයිෆූඩීන් සමත් වුවද අනෙක් පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් හිමිනොවීය.

පිතිකරුවන් එකි නෙකා දැවීයන විට කඩුල්ල ආරක්ෂා කරගනිමින් ලකුණු රැස්කිරීමට තමීම් ඉක්බාල් උත්සහ කළද අමිල අපෝන්සුගේ මංගල කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 23 කට මුහුණදුන් ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 29 ක් පමණි.

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් විසින් පන්දු යවන්නන් අට දෙනෙකු යොදාගනිමින් අත්හදා බැලීම් සිදුකළ අතර ශෙහාන් මදුශංක සහ ධනුෂ්ක ගුණතිලක කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ. අකිල ධනංජය, දසුන් ශානක, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන කඩුල්ල බැගින් දවාගත් අතර තිසර පෙරේරාට කඩුල්ලක් දවාගැනීමට නොහැකිවිය. අද තරගයේදී කඩුල්ලක් දවාගැනීමට නොහැකිවූ තිසර පෙරේරාට කඩුලු 50 සීමාව පසු කිරීමට තිබූ අවස්ථාව අහිමිවී ගිය අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිදහස් කුසළාන විස්සයි20 තරගාවලිය තෙක් ඔහුට බලාසීටීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව පිතිකරුවන්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් රැස්කිරීමට සමත්විය.

පළමු ඕවර 10 තුළදි කිසිවකු නොදැවී ලකුණු 91 ක් රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් ඕවර 10 තුළදී කඩුලු 4 ක් අහිමිකර ගනිමින් බංග්ලාදේශ පන්දුයවන්නන්ගෙන් ලකුණු 119 ක් උදුරා ගැනීමට සමත්වූහ.

සිවුවැනි කඩුල්ල සදහා පන්දු 19 කදී ලකුණු 45 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ උපුල් තරංග සහ දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී 2015 නොවැම්බර් මාසයේදී පැවැත් විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ලකුණු 200 සීමාව පසුකර ඇත.

පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස්කළ කුසල් මෙන්ඩිස් විස්සයි20 තරගවලදි තමන් රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාවේ වාර්තාව දෙවැනි වරටත් මෙම තරගාවලියේදී අලුත් කිරීමට සමත්විය. තෙවැනි කඩුල්ල ලෙස මුස්ටෆීසූර් රෙහ්මාන්ගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් අතට උඩපන්දුවක් දෙමින් කුසල් දැවීයන විට පන්දු 42 කට මුහුණදෙමින් ලකුණු 70 ක් රැස්කර සිටි අතර හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

කණ්ඩායමේ පැවැති තත්ත්වය අනුව උසස්වීමක් ලැබ අංක තුන පිතිකරු ලෙස පන්දුවට පහරදිමට පැමිණි තිසර පෙරේරා දෙවැනි කඩුල්ල සදහා කුසල් මෙන්ඩිස් සමගින් පන්දු 27 කදී ලකුණු 51 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අබූ ජායිඞ්ගේ මංගල කඩුල්ල ලෙස තිසර පෙරේරා දැවීයන විට පන්දු 17 කට මුහුණදුන් අතර හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 66 කදී ලකුණු 98 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ධනුෂ්ක ගුණතිලක ලකුණු ලබාගැනීමේ වේගය වැඩිකිරීමට යාමේදී හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි තමීම් ඉක්බාල්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

පන්දු යවන්නන්ට පහර පිට පහර වදින විට බංග්ලාදේශ නායකයා අතිරේක පන්දු යවන්නෙක් වන සෞම්‍ය සර්කාර් පන්දු යැවීමට කැඳවූ අතර ඔහුගේ පළමු ඕවරයේදීම ලකුණු 42 ක් රැස්කර සිටි ධනුෂ්ක ගුණතිලක දැවී ගියේය. පන්දු 37 කට මුහුණදුන් ධනුෂ්ක ගුණතිලකගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් ඇතුළත් විය.

ලකුණු 15 ක් ලබාසිටියදි අපහසු උඩපන්දුවක් රැකගැනීමට තමීම් ඉක්බාල් උත්සහ කිරීමේදී පන්දුව අතින් ගිලිහි ගිය අතර නැවත වරක් ලකුණු 28 ක් රැස්කර සිටියදි මහමුදුල්ලා අතින් උඩපන්දුවක් ගිලිහියාම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට දෙවතාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව උදාවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් නිරෝෂන් දික්වැල්ල වෙනුවට අමිල අපෝන්සු කණ්ඩායමට කැදවා ඇති ඔහුගේ මංගල විස්සයි20 තරගය වන්නේය.

බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් හතරක් සිදුකර තිබූ අතර අෆීෆ් හුසේන්, රුබෙල් හුසේන්, සබීර් රෙහ්මාන් සහ සකීර් හසන් කණ්ඩායමෙන් ඉවත්කර තමීම් ඉක්බාල්, මෙහෙදි හසන්, අබූ ජායිඞ් සහ මොහොමඞ් මිතුන් කණ්ඩායමට කැදවූහ. ඒ අනුව බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි20 වරම් දිනාගැනීමට මෙහෙදි හසන් සහ අබූ ජායිඞ් සමත්වූහ.

ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම හමුවන පළමු අවස්ථාව මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරන පළමු අවස්ථාවද වන්නේය. මින් පෙර වෙනත් රටවල් මෙම ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරග 6 කට ක්‍රීඩාකර ඇති අතර පළමු පන්දුවට පහරදුන් කණ්ඩායමක් ජයගත් පළමු අවස්ථාව ලෙසද වාර්තා පොත් අතරට එක්විය.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා රියාද් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

 

 

ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2වන වි20 තරගයේ විශේෂ අවස්ථා...


අදහස් (0)

ශ්‍රී ලංකාවට සටනකින් තොර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.