Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 137 ක් පසුපසින්

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 137 ක් පසුපසින්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එලිසබත්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලකුණු 60 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 137 ක් පසුපසින් සිටියේය.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 17 ක් සහ කුසල් පෙරේරා ලකුණු 10 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දිනය නිමාවන විට ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සඳහා පැවැති නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 26 කි. දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න සාර්ථක ආරම්භයක් ලබාගත්තද ශ්‍රී ලංකා ලකුණු පුවරුව 34 ක් වනවිට ඔවුන් දෙදෙනාව පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩා සහ ඩුවෑන් ඔලිවර් සමත්වූහ.

සුරංග ලක්මාල්ගේ (39/4) සහ ධනංජය ද සිල්වාගේ (36/3) දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවේ දෙවැනි ඉනිම ලකුණු 128 කට සීමා වූ අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හිමි විය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 10 කට කඩුල්ලක් අහිමිකර ගෙන සිටි දකුණු අප්‍රිකානුවෝ දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුළ ලකුණු 81 කට කඩුලු 4 ක්ද, තේ පානයෙන් පසුව ලකුණු 37 ක් තුළ ඉතිරි කඩුලු 5 ද අහිමිකර ගත්හ.

ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම්ට සහ ටෙම්බා බවුමාට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබා නොදුන් කසුන් රාජිත, ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් කරන විට දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 3 කට ලකුණු 51 ක් ලෙස සටහන් විය.

ෆෆ් ඩු ප්ලෙසිස් සහ හසීම් අම්ලා එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් පවත්වමින් දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගීමට උත්සහ කළද එම සම්බන්ධතාවයට තිත තැබීමට ධනංජය ද සිල්වා සමත් විය. අම්ලා ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වන විට ඔවුන් ගොඩනැගූ ලකුණු 39 ක සම්බන්ධතාවයෙන් ලකුණු 31 ක්ම ෆෆ්ගේ පිත්තෙන් එක් විය. පළමු ඉනිමේදී පළමු පන්දුවෙන්ම දැවී ගිය අම්ලාට දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 32 ක් පමණි.

මේ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු අතර සිටින පිතිකරුවකු වන ක්විනටින් ඩි’ කොක්, පන්දු යැවූ සුරංග ලක්මාල්ටම ලබාදුන් පහසු උඩ පන්දුවක් හේතුවෙන් තේ පානයට පෙර යවන ලද අවසන් ඕවරයේදී ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

පසුපෙළ පිතිකරුවන් දුර්වල වන විට හුදකලා සටනක නිරතවූ ෆෆ් ඩුප්ලෙසී, දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 50 ක් ලබාගත්තේය. ඩුප්ලෙසී ලකුණු 45 ක් රැස්කර සිටියදී ස්ටම්ප් කිරීමකට ලක්වුවද පන්දු යැවීමේදී ධනංජය ද සිල්වාගේ පාදය සීමා ඉරෙන් ඉදිරියට පැමිණ තිබීම හේතුවෙන් තෙවැනි විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස නම් කළේය. එම නිසා ප්ලෙසීට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමි විය.

පිතිකරුවන්ගේ අනිසි කළබලය හේතුවෙන් දිවා ආහාරයට පෙරම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 154 කට අවසන් කර ගත්තේය. ඒ අනුව දකුණු අප්‍රිකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 68 ක් පසුපසින් සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

පළමු දිනට තරගය අවසන් කරනවිට ලකුණු 60 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටි ශ්‍රී ලංකා පළමු ඉනිමට අද දින එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 94 ක් පමණි. පෙරේදා දින පන්දු යවමින් සිටියදී උඩ පන්දුවක් රැකගැනීමට ගත් උත්සහයකදී අතේ ඇගිල්ලක් තුවාල වීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ලසිත් ඇඹුල්දෙණිය පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේ නැත.

අද උදෑසන පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න ලකුණු 29 කට දවාගැනීමට ඩුඈන් ඔලිවර් සමත් විය. පන්දු යැවූ ඔලිවර් අතටම පහසු උඩපන්දුවක් දෙමින් තිරිමාන්න පිටියෙන් ඉවත්විය. තවත් ලකුණු 2 ක් ශ්‍රී ලංකා ඉනිමට එක්වන විට මුරකරු පිතිකරුවා ලෙස පිටියට පිවිසි කසුන් රාජිත දවාගැනීමට රබාඩා සමත් වීමත් සමග ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 66 ක් ලෙස දිස්විය.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය කුසල් පෙරේරා ආරම්භයේ සිටම වේගවත් පිතිහරඹයක නිරවෙමින් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළේය. ධනංජය ද සිල්වා සමගින් පන්දු 20 කදී ලකුණු 31 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කුසල් පෙරේරා, කගිසෝ රාබාඩගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා වෙත උඩපන්දුවක් ලබාදෙමින් පිටියෙන් ඉවත්වී ගියේය.

හත්වැනි කඩුල්ල සඳහා ධනංජය ද සිල්වා සමගින් ලකුණු 31 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නිරෝෂන් දික්වැල්ල අටවැනි කඩුල්ල සඳහා සුරංග ලක්මාල් සමගින්ද ලකුණු 26 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට සමත් විය.

වියාන් මල්ඩර් සිය මංගල කඩුල්ල ලෙස ලකුණු 19 ක් රැස්කර සිටි ධනංජය ද සිල්වා දවාගැනීමට සමත් වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 කට දවාගැනීමට රබාඩා සමත් විය. පන්දු 36 කට මුහුණදුන් දික්වැල්ල හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කර ගත්තේය.

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 137 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.