Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව ලකුණු 365 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව ලකුණු 365 ක් ඉදිරියෙන්

ශනුක අරවින්ද - 2018 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පිතිකරුවන් සෙල්ලමකට ගත් අකිල ධනංජය (52/5) සහ ඩිල්රුවන් පෙරේරා (40/4) කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීත් සංචාරක කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 124 කට සීමා කළහ. දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ අවසන් කඩුල්ල දැවීයන විට තරගයේ දෙවැනි දිනය වූ අද (21 වැනිදා) තේ පානයට විනාඩි 19 ක් ඉතිරිව තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 214 ක දැවැන්ත මුල් ඉනිමේ වාසියක්ද අත්වී තිබිණ.

අද දිනයේ ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 151 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සම්පූර්ණ දින තුනක්ම ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකානුවන්ට වඩා ලකුණු 365 ක් ඉදිරියෙන් සිටියේය.

ආසියානු නොවන කණ්ඩායමක් විසින් ආසියාවේ රටකදී හඹා යමින් තරගයක් ජයගැනීමට රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වන්නේ වසර 2008 දී නවසීලන්ත කණ්ඩායම බංග්ලාදේශයේදී කඩුලු 7 ක් දැවී ලබාගත් ලකුණු 317 යි.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 126 කි. කොළඹදී එය තවත් ලකුණු 2 කින් අඩුවූයේ ගාල්ලේ තණතීරුව සම්බන්ධයෙන් තවමත් සැක පහළ කරන්නන්ට සිතන්නට යමක් ඉතිරි කරමිනි. දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගයේදී ලබාගත් ලකුණු 124 සටහන් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේදී ලබාගත් දෙවැනි අවම ලකුණු සංඛ්‍යාව වශයෙනි.

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පිට පිටම සිව්වැනි වතාවටත් ලකුණු 50 සීමාව පසුකර ගිය දිමුත් කරුණාරත්න අද තරගය නතර කරන විට නොදැවී ලකුණු 59 ක් ලබා සිටියේ මෙම තරගාවලියේදී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 330 ක් දක්වා ඉදිරියට ගෙන යමිනි. දිමුත් තනිවම එවන් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉනිම තුනකදීම ලබාගත හැකිවී ඇත්තේ ලකුණු 323 කි.

අද දිනයේදී  තමන් යැවූ දෙවැනි පන්දුවෙන් ඩීන් එල්ගා දවාගත් අකිල ධනංජය එතැන් සිට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ මනස තුළ භීතිකාවේ අන්ධකාරයක් නිර්මාණය කළේය. එහි ප්‍රතිඵලය වූයේ දිවා ආහාරයට පෙර ලකුණු 15 කට කඩුලු 3 ක් දැවී යාමත්, තේ පානයට පෙර කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවීයාමත්ය. පැය දෙක හමාරකටත් අඩුවූ සම්පූර්ණ දකුණු අප්‍රිකානු ඉනිම ඕවර 34.5 කට සීමා විය.

පිට දඟ පන්දුව පමණක් නොව, පා දඟ පන්දුව මෙන්ම ගුග්ලි පන්දුවත් මනාලෙස උපයෝගී කරගන්නා අකිල ධනංජය, මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග තුනේදී කඩුලු 15 ක් දවාගෙන ඇති අතර ඉනිම දෙකකදීම කඩුලු 5 ක් බැගින් දවාගෙන තිබේ.

ටෙස්ට් තරග 2 කින් යුත් තරගාවලියේ ඉනිම තුනක් අවසන් වූ නමුත් දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් එකම අර්ධ ශතකයක් හෝ ලබාගැනීමට කිසිවකු අසමත් වී තිබේ. දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් පිතිකරුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ ගාල්ලේදී සහ එස්.එස්.සී. පිටියේදී (අද) ෆෆ් ඩු ප්ලෙස්ි ලබාගත් ලකුණු 49 සහ 48 යි.

තුන්වැනි කඩුල්ල ලකුණු 15 දි බිඳවැටීමෙන් පසුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු නායකයා අකිල ධනංජය හමුවේ පිට පිට පන්දු 3 කදී හතරේ පහර තුනක් ගැසීය. ඊළඟ ඕවරයේදී රංගන හේරත්ගේ ඕවරයකින් ලකුණු 12 ක් උදුරාගත් දකුණත් පිතිකරුවා හේරත්ගේ තර්ජනය අවසන් කරගත්තේය. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ හේරත් වෙනුවට පන්දුව අතට ගත් ඩිල්රුවන් පෙරේරා හමුවේ ඔහු දැවී යාමයි.

ඩිල්රුවන්ටත් ප්‍රහාරයේ හැන්දෙන්ම බෙදන්නට ගිය ඩු ප්ලෙසි කඩුලු රකින දික්වැල්ලට උඩපන්දුවක් දුන්නේය. සිය දෙවැනි පන්දුවාරයේදී එක දිගට ඕවර 9 ක් යැවූ ඩිල්රුවන් ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත් අතර මෙම ඉනිමේදී පිට දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් සහ අකිල ධනංජය හමුවේ දැවී ගිය කඩුලු සංඛ්‍යාව 9 කි.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම එසේ වූවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල දවාගැනීමට පැය එකහමාරක් පුරා වෙහෙස වීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවිය.

පළමු දිනය නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ අකිල ධනංජය සහ රංගන හේරත් දෙදෙනා දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැති ටෙස්ට් තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 වැනි කඩුල්ල වෙනුවෙන් නව වාර්තාවක්ද පිහිටවූහ.

වසර 36 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව වන්නේ මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් එක්ව 2004 දී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව මහනුවරදී ගොඩනැංවූ ලකුණු 79 යි. හේරත් සහ අකිල ධනංජය දෙදෙනාට එම වාර්තාව මඟහැරී ගියේ ලකුණු 6 කිනි.

අද පෙරවරුවේදීත් කේෂව් මහාරාජ් පන්දු යැවීම දිගටම කරගෙන යද්දී ඬේල් ස්ටේන් පැත්තකට වී සිටියේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා වීමේ වාර්තාව සඳහා ඉදිරිපෙළ පිතිකරුවකු ඔහුට අවශ්‍ය වූ නිසා විය හැකිය. මේ අතරවාරයේදී ටිකෙන් ටික ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගිය හේරත් සහ අකිල ධනංජය දෙදෙනා එය 300 සීමාවෙන් ඔබ්බට දැමූහ. එය ශ්‍රී ලංකා පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටත් මානසික වශයෙන් මහත් සහනයක් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 306 ක්  ව තිබියදී හේරත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීම සඳහා කේෂව් මහාරාජ් ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඊට විනිසුරු අනුමැතිය ලැබිණ. එහෙත් විතීවි සහාය ඉල්ලා සිටි හේරත් පන්දුව පා ආවරණයේ වැදීමට පෙර අත් ආවරණයේ වදින බව තහවුරු කරමින් කඩුල්ල බේරා ගත්තේය.

අද පෙරවරුවේ පළමු හෝරාව ඇතුළත ලකුණු 58 ක් එකතුකර ගැනීමට හේරත් සහ අකිල ධනංජය සමත් වූ නමුත් සිසිල් පැන් විවේකයෙන් සුළු වේලාවකට පසුව හේරත් දැවී ගියේ කේෂව් මහාරාජ්ට 9 වැනි කඩුල්ලත් හිමිකර ගැනීමේ අවස්ථාව දෙමිනි.

වසර 1991 දී නැවතත් ටෙස්ට් පිටියට අවතීර්ණ වීමෙන් පසුව දකුණු අප්‍රිකානු පන්දු යවන්නකු විසින් කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කළ කේෂව් මහාරාජ් ලකුණු 129 කට කඩුලු 9 ක් දවාගත්තේය.


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 365 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.