Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව ලකුණු 405 ක පීඩනයට

ශ්‍රී ලංකාව ලකුණු 405 ක පීඩනයට

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය නායක විරාට් කෝලි ලබාගත් ප්‍රවේගකාරී ද්විත්ව ශතකය නිසා නාග්පූර් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ සිවුවැනි දිනය නිමාව ආසන්නයේදී ඉන්දීය කණ්ඩායම දැවැන්ත වාසියක් අත්පත් කරගත්තේය. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 405 ක් ලබාගැනීමේ පීඩනයට හසුව සිටියද තරගයේ තුන්වැනි දිනය වන අද (26 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල සිය දෙවැනි ඉනිමේදීත් ලකුණු 21 කට කඩුල්ලක් අහිමි කරගෙන සිටියේය.

ඉනිමක පරාජයෙන් ගැලවීමේ මූලික අභියෝගය කරපින්නාගෙන දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල දෙවැනි පන්දුවේදීම ඇද වැටිණ. ඉෂාන්ත් ෂර්මාගේ පළමු පන්දුව හඹාගොස් පහරක් ගැසීමට උත්සාහ කළ සධීර සමරවික්‍රම දෙවැනි පන්දුව නිදැල්ලේ යන්න හැරියද එය ඔහුගේ කඩුල්ලට කඩාවැදුණේය. ඒ වන විට දෙවැනි ඉනිමට ලකුණු එකතු වී නොතිබිණ.

තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 9 ක් අතැතිව ලකුණු 384 ක් පසුපසින් සිටී.

කෝලි ලබාගත් ද්විත්ව ශතකයට අමතරව ඉන්දියාව වෙනුවෙන් පිතිකරුවෝ තිදෙනෙක් ශතක ලබාගත්හ. ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් සොයාගත නොහැකිව ළතවෙමින් සිටි රෝහිත් ෂර්මා තමන්ට ලැබුණු අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ලබාගත් අතර ඔහු ශතකය ලබාගැනීමත් සමගම ඉන්දීය නායකයා ඉනිම නතර කළේ අද සවස ඕවර කිහිපයක් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත යැවීමේ අටියෙනි.

දිනය පුරාම පිටියේ අණසක පැතිරූ ඉන්දීය නායකයාගේ පන්දු 267 ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් විය. සිය 62 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කෝලිගේ පස්වැනි ටෙස්ට් ද්විත්ව ශතකය මෙයයි. බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත, එංගලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් වලට එරෙහිවද ඔහු ද්විත්ව ශතක ලබා තිබේ.

සෙනසුරාදා දිනයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ මුරලි විජේ සහ චෙටේස්වාර් පුජාරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් අද දිනයේ ගොඩනැංවූ සම්බන්ධතාව ලකුණු 173 කි.

වසරක පමණ කාලයකට පසුව ඉන්දීය පිලට එක්වූ රෝහිත් ෂර්මා තේ පානයෙන් පසුව තමන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමින් ශතකය කරා ගියේය. පන්දු 98 කින් සිය අර්ධ ශතකය ලබාගත් ෂර්මාට එතැන් සිට ශතකය කරා යාමට අවශ්‍ය වූයේ පන්දු 62 ක් පමණි.

 

ශ්‍රී ලංකා - ඉන්දීය දෙවන ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා සඳහා ...


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 405 ක පීඩනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.