Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයේ සිටම තම සිහිනය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම අදිටන් කරගෙන සිටී. දිගින් දිගටම ලද පරජයන් වැලක් හේතුවෙන් අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානයට ඇදවැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 2 හිමි දකුණු අප්‍රිකානු පිල දකුණු අප්‍රිකාවේදීම තරගාවලියකින් පරාජය කිරීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.
පෝර්ට් එළිසබෙත් නුවර, ශාන්ත ජෝර්ජ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී හෙට (21 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය පරාජය නොවී සිටීමට ශ්‍රී ලංකා පිල සමත් වුවහොත් ඔවුන්ගේ සිහිනය සැබෑ වනු ඇත.
ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ජයගත හැකිවුවහොත් එය දකුණු අප්‍රිකාවේදී ආසියානු කණ්ඩායමක් විසින් ටෙස්ට් තරගාවලික් ජයගන්නා පළමු අවස්ථාව වනු ඇත. ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දියාවට හෝ පාකිස්තානයට පවා මෙතෙක් එවන් දස්කමක් කළ නොහැකි වී තිබේ.
ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඇදහිය නොහැකි වික්‍රමයක් කළ කුසල් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. කුසල්ගේ පිතිහරඹය ක්‍රිකට් විචාරකයන් විසින් හඳුන්වන ලද්දේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෑතකාලීනව දක්නට ලැබුණු ‘හොඳම දැන්වීම’ ලෙසිනි. එහිදී කුසල් පෙරේරා සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා අතර පැවැති අවසන් කඩුල්ලේ ලෝක වාර්තාගත සම්බන්ධතාව ලකුණු 78 කි.
පසුගිය ඔක්තෝබරයේදී එංගලන්ත පිල හමුවේ ලද 3-0 ක අමිහිරි තරගාවලි පරාජය ද ඇතුළත්ව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8 කින් 6 ක් පරාජය වී තිබිණ. එහෙත් ඩර්බන් නුවරදී ලද ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ආත්ම විශ්වාසය එක්වී තිබේ. එහෙත් වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පෝර්ට් එළිසබෙත් නුවරදීත් සිය විශ්වාසනීයත්වය රැකගැනීමට හැකිද යන්නයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල ඩර්බන් නුවරදී ජයගත්තේ කුසල් පෙරේරාගේ ශතකයෙන් පමණක් නොවේ. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ලසිත් ඇඹුල්දෙණිය පළමු ඉනිමේදී ලකුණු 66 කට කඩුලු 5 ක් දවාගත් අතර අවසන් කඩුල්ලට පිත්තෙන් දායකත්වය දැක්වූ විශ්ව ප්‍රනාන්දු වමතින් පන්දු යවමින් ඉනිම දෙකේදීම ලකුණු 133 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා පිල හමුවේ ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ ජයග්‍රාහී කණ්ඩායමම මේ තරගයටත් තියා ගන්නවාද, නැතහොත් දිගින් දිගටම අසාර්ථක වන ළහිරු තිරිමාන්න වෙනුවට ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට කෞෂාල් සිල්වා කැඳවනවාද යන්නයි.
දස්කම් හීන වීම හේතුවෙන් ටෙස්ට් පිලෙන් ඉවතට විසිවූ කෞෂාල් සිල්වා නැවත වරක් ශ්‍රී ලංකා පිලේ ස්ථානය සොයාගත්තේ දේශීය පළමු පෙළ තරගාවලියේ තරග 8 කදී ලකුණු 950 ක් රැස්කරමිනි. එහිදී යුද හමුදා පිලට එරෙහිව ලකුණු 273 ක් ලබාගැනීමටද කෞෂාල් සමත් විය. කෞෂාල්ගේ ඉනිමක සාමාන්‍යය 79.16 ක් විය.
ළහිරු තිරිමාන්න අවසන් වරට ටෙස්ට් ඉනිමකදී අර්ධ ශතකයක් ලබාගත්තේ 2017 ඉන්දීය සංචාරයේදී කොල්කටාවේදීය. මේ වසරේ ඕස්ටේ්‍රලියානු සංචාරයේ සිට තිරිමාන්න සහභාගි වූ ටෙස්ට් තරග තුනේදී ඔහුගේ ලකුණු ලබාගැනීම් වාර්තා වන්නේ 12, 32, 41, 30, 0 සහ 21 ක් වශයෙනි.
අනෙක් අතට අද ඇරඹෙන තරගයේදී දකුණු අප්‍රිකානු පිලට පළපුරුදු වේග පන්දු යවන්නකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ සේවය අහිමි වී තිබේ. එබැවින් තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මල්ඩර්ට ටෙස්ට් හිස්වැස්ම දිනාගැනීමේ අවස්ථාවක් ඇතත් 21 හැවිරිදි කෝඩුකරායකු වන මල්ඩර් හමුවේ ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ මාන බලමින් සිටිති. එහිදී දකුණු අප්‍රිකානුවන්ට ඇති සහනය වන්නේ මල්ඩර් තරමක් විශ්වාසය තැබිය හැකි පිතිකරුවකුද වීමයි. කෙසේ වෙතත් මල්ඩර් ක්‍රීඩා නොකරන්නේ නම් පිතිකරුවකු වන තියුනිස් ඩි’බෘයින් කැඳවීමේ අවස්ථාවද දකුණු අප්‍රිකානු පිලට තිබේ.
“අපි හෙට උදේ තණතීරුව බලලා කණ්ඩායම වෙනුවෙන් හොඳම තීරණය ගන්නවා”
“අපි පළමු ඉනිමේදී වඩාත් හොඳින් පන්දුවට පහර දිය යුතුමයි. අපට මේ තරගය දිනන්න ඕන නම් ඒක හදාගන්න වෙනවා” යයි දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔටිස් ගිබ්සන් මහතා පැවසීය.
දකුණු අප්‍රිකානු පුහුණුකරුවා කියන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වාඩුව ගැනීමේ අදහසක් දකුණු අප්‍රිකානුවන්ට නැත. එහෙත් ශ්‍රී ලංකා පිලේ භයානකම පිතිකරුවා වන කුසල් පෙරේරා වෙනුවෙන් සැලැස්මක් සූදානම් කිරීමට ඔව්හු සූදානම් වෙති.
“අපේ අරමුණ වෙන්නේ හොඳින් ක්‍රීඩා කිරීමයි. ඩර්බන් නුවරදී මොනවාද වුණේ කියලා ආපසු හැරිලා බලනකොට ඔවුන්ට (ශ්‍රී ලංකා කණ්ඩායමට) එහි ගෞරවය දෙන්න වෙනවා” යයිද ගිබ්සන් මහතා පැවසීය.
“මම එදා (තරගය දිනයේ) උදේ ගෙදරින් එද්දී මට ඒ වගේ දෙයක් හිතුණේ නෑ. ඒත් ඔවුන් ක්‍රීඩා කළ ආකාරයට එහි ගෞරවය ඔවුන්ට හිමිවෙන්න ඕනේ. විශේෂයෙන්ම පෙරේරා....එයාට එයාගේ ඉනිමේ මුලදී වාසනාව ටිකක් තිබුණා. ඒත් පස්සේ තැන්පත් වුණා”
“අපි එයාට පුළුවන් හැම දේම දැම්මා. ඒත් එයා ඒ හැමදේටම සාර්ථකව මුහුණ දුන්නා.”
“අපි එයාට දඟ පන්දු යැව්වා...කඩුල්ල වටේ ගිහින් පන්දු යැව්වා...කඩුල්ලට පිටින් පන්දු යැව්වා.....බවුන්සර් යැව්වා...යෝකර් දැම්මා...ඒත් එයා හැමදේකින්ම බේරුණා......ක්‍රීඩාවේ හැටි මේක තමයි” යයිද ගිබ්සන් මහතා පැවසීය.
පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානුවන් මුහුණ දුන්නේ ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අවතක්සේරු කරනු ලැබීමේ විපාකයටයි. ඉතාම ප්‍රබල පිතිකරු ලයිස්තුවක් තිබෙන නමුත් ඉනිම දෙකේදීම දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 260 සීමාව පසුකර යා නෙහැකි විය.
මේ හේතුවෙන් අද ඇරඹෙන තරගයේදී සිය උපාය මාර්ග වෙනස් කිරීමට දකුණු අප්‍රිකානුවෝ සූදානමින් සිටිති. එය පිතිකරුවන් සහ පන්දු යවන්නන් අතර අනුපාතයේ වෙනසක් විය හැකිය. පිතිකරුවන් හය දෙනා වෙනුවට කඩුලු රකින්නාද ඇතුළත්ව පිතිකරුවන් හත් දෙනකු යොදාගැනීමට දකුණු අප්‍රිකානු පිල බලාපොරොත්තුව සිටී.
පාදයේ වළලුකර උළුක්කුවීම නිසා අපහසුවෙන් සිටියද කුසල් මෙන්ඩිස්ට මෙම තරගයටත් ක්‍රීඩා කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස තහවුරු කළේය. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් අපේක්‍ෂා කළ නොහැකිය.
පෝර්ට් එළිසබෙත්හිදී කුමක් සිදුවන නමුත් දකුණු අප්‍රිකානුවන් සිය මව්බිමෙදී එක දිගට ටෙස්ට් තරගාවලි ජයගැනීමේ දම්වැල තරගාවලි ජයග්‍රහණ 7 කින් අවසන් වී තිබේ. මක්නිසාද යත් ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ජයගත නොහැකි බැවිනි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේදී මීට පෙර පැවැති එකම ටෙස්ට් තරගය (2016 දී) ලකුණු 206 කින් ජයගැනීමට සත්කාරකයෝ සමත්වූහ. එහෙත් දකුණු අප්‍රිකානු පිල මෙම ක්‍රීඩාංගණයේදී අවසන්වරට සහභාගි වූ ටෙස්ට් තරග හයෙන් පහක්ම ජයගෙන ඇති අතර එකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
දකුණු අප්‍රිකානු සංචිතය
ෆෆ් ඩු ප්ලෙසි (නායක), ඩීන් එල්ගා, ඒඞ්න් මාක්රම්, හසිම් අම්ලා, ටෙම්බා බවුමා, තියුනිස් ඩි’බෘයින්, සුබෙයිර් හම්සා, ක්වින්ටින් ඩි කොක්, වියාන් මල්ඩර්, කේෂව් මහාරාජ්, කගීසෝ රබාඩා, ඬේල් ස්ටේන් සහ ඩුඇන් ඔලිවර්
ශ්‍රී ලංකා සංචිතය :
දිමුත් කරුණාරත්න (නායක), කෞෂාල් සිල්වා, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.