Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ

Nisanka Sandeepani - 2018 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රකින්නා කවුරුන්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා පිල තවමත් විපිළිසරව සිටී. කඩුලු රැකීමේ හැකියාවන් ඇති ක්‍රීඩකයන් සිව් දෙනකු කණ්ඩායමේ සිටියද කිසියම් තීරණයක් ගත නොහැකිව සිටින්නේ කණ්ඩායමේ අංක එකේ කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ලගේ හිතුවක්කාර ක්‍රීඩා විලාසය හේතුවෙනි. 

නායක දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් මෙන්ම සධීර සමරවික්‍රමද කඩුලු රැකීමේ හැකියාවෙන් යුතු ක්‍රීඩකයෝ වෙති. එහෙත් කණ්ඩායමේ අංක 1 කඩුලු රකින්නා ලෙස නම්කර ඇත්තේ දික්වැල්ලය. 

නවසීලන්තය බලා පිටත්ව යාමට පෙර දිනේෂ් චන්දිමාල් කියා සිටියේ නවසීලන්ත සංචාරයේදී කඩුලු රකින්නා කවුරුන්ද යන්න පිළිබඳව තණතීරු බලා තීරණයක් ගන්නා බවයි. 

“කණ්ඩායමට අවශ්‍ය වෙන ඕනම වෙලාවක මට කඩුලු රකින්නත් පුළුවන්, පන්දු රැකීමේ කාර්යය කරන්නත් පුළුවන්. මම ඒ දෙකටම ලැහැස්ති වෙලයි ඉන්නේ....”

“ඒත් අපිට එක පාරටම තීරණයක් ගන්න බැහැ මම කඩුලු රකිනවද, නැත්නම් පන්දු රකිනවද කියන එක ගැන. එහෙට ගිහිල්ලා එහෙ තණනිලි වල ස්භාවයත් බලලා කණ්ඩායමට හොඳම දේ කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ” යයි දිනේෂ් චන්දිමාල් පැවසීය. 

දක්‍ෂ පිතිකරුවකු වන නමුත් ටෙස්ට් තරග 25 කදී දික්වැල්ල ලබාගෙන ඇත්තේ ලකුණු 1333 ක් පමණි. ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 29.62 ක් වන අතර ටෙස්ට් ඉනිම 48 ක් ක්‍රීඩා කළ නමුත් එකම ශතකයක් හෝ ලබාගෙන නැත. ඔහුගේ ටෙස්ට් වාර්තාවට ඇතුළත් වන්නේ අර්ධ ශතක 9 ක් පමණි. එයින් අවසන් අර්ධ ශතකය වාර්තා වී ඇත්තේ ඉනිම 12 කට පෙරය. 

එංගලන්ත පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගවලියේදී ටෙස්ට් ඉනිම 6 කදී දික්වැල්ල ලබා ඇත්තේ ලකුණු 128 කි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කඩුලු රකින්නා සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිළි මතයක සිටී. 

“චන්දිමාල් කඩුලු රකින්න ගියාම තුවාල වෙන්න පුළුවන්. ඒකෙන් එයාගේ පිත්තෙන් එන ලකුණු ටිකත් නැතිවෙනවා....ඒ නිසා දික්වැල්ල ක්‍රීඩා කරනවා නම් අපි හිතන්නේ දික්වැල්ල කඩුලු රැකිය යුතුයි කියලයි” යයි තේරීම් කමිටු සාමාජිකයෙක් ලංකාදීපයට පැවසීය. 

තේරීම් කමිටුව විසින් සංචිතය තෝරා ගන්නා නමුත් කිසියම් තරගාවලියක් පැවැත්වෙන අවස්ථාවකදී කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරාගනු ලබන්නේ නායකයා, කළමණාකරු සහ පුහුණුකරු මැදිහත්වීමෙනි. 

නවසීලන්ත සංචාරයේදී තමන්ගේ භූමිකාව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් චන්දිමාල් කියා සිටියේ පිටියේ ඕනෑම ස්ථානයක පන්දු රැකීමට මෙන්ම පෙර පරිදි කඩුලු රැකීමටද තමාට හැකියාව ඇති බවයි. 

“පහුගිය අවුරුද්දක කාලයක් තිස්සේ අපි නුවන් ප්‍රදීප්ව ටෙස්ට් තරග සඳහා යොදාගත්තේ නෑ. ටෙස්ට් තරගවලට ක්‍රීඩා කරද්දි ඔහු දිගින් දිගටම ආබාධ තත්වයන්ට පත්වුණ නිසා. නමුත් දැන් ඔහු ටෙස්ට් තරගය සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව ගොඩනඟා ගෙන තියෙනවා. ඒ නිසයි අපි මේ තරගාවලියෙදි නැවතත් ඔහුට අවස්ථාවක් ලබාදුන්නේ” 

“ඒ වගේම තමයි තිරිමාන්නත්”

“අපි හැමෝම දන්නවා ඔහු කොයි තරම් හොඳ පිතිකරුවෙක්ද කියන එක. අවසන් වරට ඔහු සහභාගි වුණ සංචාරවලදි වගේම සංවර්ධන සංචිතයත් එක්ක තිබුණ තරග වලදි ඉතාමත් දක්ෂ ආකාරයට පිතිහරඹයේ යෙදිලා ඔහු ඒක ඔප්පු කරලා තියෙනවා....ඉතින් මම හිතනවා ඔවුන් දෙදෙනාගේ පැමිණීමත් සමග කණ්ඩායම අත්දැකීම් වලින් සම්පූර්ණයි කියලා. මේක ඔවුන් දෙදෙනාටත් හොඳ තරගාවලියක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා” යයිද චන්දිමාල් පැවසීය. 

 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.