Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක

ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී හෙට (23 වැනිදා) ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගයට (දිවා රාත්‍රී) සහභාගීවීම අවිනිශ්චිතව තිබේ.

තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා දුන් තරග තහනමට එරෙහිව අභියාචනයක් දිනේෂ් චන්දිමාල් විසින් යොමුකර ඇති අතර ඒ පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (22 වැනිදා) රාත්‍රීයේදී දීමට නියමිතව ඇත.

විඩියෝ දර්ශන මගින් ලබාගත් සාක්‍ෂි ඇති බැවින් බොහෝ දුරට චන්දිමාල්ගේ තරග තහනම ස්ථීරවීමට අවස්ථාව ඇතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් දරන්නේ වෙනත් මතයකි.
 
යම් හෙයකින් චන්දිමාල්ගේ තරග තහනම දිගටම පැවැතියහොත් කණ්ඩායමේ උපනායකයා ලෙස පත්කර ඇති සුරංග ලක්මාල්ට හෙට තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් හෙට දිනයේදී සිදුවනු ඇති අතර නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට ආම්භක පිතිකරුවකුවන ධනුෂ්ක ගුණතිලක හෝ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක කණ්ඩායමට එක්කර ගැනීමට සිදුවේ.

ඊට අමතරව කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ගෙන් වැඩි පිරිසක් අත්දැකීම් අඩු ක්‍රීඩකයින් වන අතර සුරංග ලක්මාල් නායකත්වයට පත්වුවහොත් නායකයාට අවශ්‍ය අවස්ථාවකදී උපක්‍රමයක් පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු කණ්ඩායම තුළ නොවේ. එබැවින් රංගන හේරත් හෝ ඩිල්රුවන් පෙරේරා නැතහොත්  දෙදෙනාම තෙවැනි තරගයට එක්කර ගැනීමට සිදුවනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය වසර 90 ක ටෙස්ට් ඉතිහාසයේදී පළමු වරට දිවා/රාත්‍රී ටෙස්ට් තරගයකට මුහුණ දෙන්නේ හෙටයි. පාකිස්තානයට එරෙහිව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉන් ජයගත් අතර හෙට ආරම්භ වන්නේ ශ්‍රී ලංකා කණඩායම සහභාගි වන දෙවැනි දිවා/රාත්‍රී තරගයටයි.

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වසර 90 ක් පිරිම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට හෙට තවත් සුවිශේෂි දිනයක් වන්නේය. 1928 ජූනි 23 වැනිදා එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ බටහිර ඉන්දීය කොදෙව් පිල ටෙස්ට් වරම් හිමිකරගත් ලෝකයේ සිව්වැනි කණ්ඩායම විය.
 
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වූයේ 1877 දී වුවද දිවා/රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීම ආරම්භ වූයේ 2015 දී ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අතර ඇඩිලේඞ්හිදී පැවැති තරගකිනි. හෙට ආරම්භ වන්නේ 10 වැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගයයි.

සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියේදී මේ වනවිටත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරග 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියද හෙට තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වන්නේ තරගාවලිය පරාජයෙන් බේරා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට තිබෙන බැවිනි. එහෙත් ඇත්ත ඇති සැටියේ ගෙන බැලුවහොත් කණ්ඩායම් දෙකින්ම වඩාත් පසුපසින් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම බව රහසක් නොවේ.
 
වඩාත් ඉහළින් බලාපොරොත්තු රඳවාගෙන  සිටින කොදෙව් ක්‍රීඩකයෝ පරාජයන් වැලකට තිත තබමින් වසර හතරකට පසුව කැරිබියන් දූපත් සමූහයේදී තරගාවලි ජයක් ලබාගැනීමට සිහින මවමින් සිටිති.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.