Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්යයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැයි මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය කල් දැමීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට අවසර දීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. 2018 නිලවරණය කැඳවීමේදී නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කර නැති බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා පත්කර තිබූ නිලවරණ කමිටුව අත්හිටවූ ක්‍රීඩා අමාත්‍යංශය මැයි මස 19 දා පැවැත්වීමට තිබූ නිලවරණය දින නියමකින් තොරව කල් දැමිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීය.

කෙසේ වෙතත් දැනට උද්ගතව ඇති තත්ත්වය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජූනි හෝ ජූලි මාසයේ අගභාගය දක්වා කල්යනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඊයේ (27 වැනිදා) සවස ලිපියක් යැවූ ක්‍රීඩා වැඩ බලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා දන්වා සිටියේ නිලවරණ කමිටුවක් පත්කළ හැක්කේ අති විශේෂ මහ සභා රැස්වීමකින් පසුව පමණක් බවයි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහ සභාවෙන් අනුමත විය යුතු බවද ෆයිසර් මුස්තාපා මහතා දන්වා සිටියේය.

මැයි 19 වැනිදා නිලවරණය වෙනුවෙන් නිලවරණ කමිටුව පත්කරන ලද්දේ විධායක සභා රැස්වීමකින් පසුව වන බැවින් එය අවලංගු කිරීමට තීරණය කළ ක්‍රීඩා අමාත්‍යංශය නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීමද අත්හිටුවා තිබේ.

මෙම තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ තමන් හැකි ඉක්මනින් අති විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට කටයුතු යොදන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව අති විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමට නම් එහි සාමාජිකයන්ට දින 14 කට කලින් දැනුම් දිය යුතුය. අති විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව නිලවරණයක් මෙන්ම මහසභා වාරයක් කැඳවීමට නම් අති විශේෂ මහ සභා රැස්වීමේ සිට අවම වශයෙන් දින 40 ක් ගතවිය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වත්මන් නිලධාරී මණ්ඩලයේ නිල කාලය මැයි මස 31 වැනිදායින් අවසන් වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මීළඟ නිලවරණය දක්වා තාවකාලික අතුරු කමිටුවක් වශයෙන් කටයුතු කරගෙන යන්න’යි ක්‍රීඩා අමාත්‍යංශයෙන් තමන්ට අවසර ලැබී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරීහු කියති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් ප්‍රකාශ කරන්නේ නිලවරණයක් පවත්වන ලෙස හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගෙන් තමන්ට අවසර ලැබී තිබුණු බවයි.  එහෙත් දයාසිරි ජයසේකර මහතා පසුගිය 11 වැනිදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

“අපේ කාලය අවසන් වීමේ දිනයත් එක්ක බැලුවාම අපට අති විශේෂ මහසභා රැස්වීමක් කැඳවන්න කාලය තිබුණේ නැ. ඒ නිසා අපි ඒ ගැන විමසුවාව විධායක කමිටු රැස්වීමේදී නිලවරණ කමිටුවක් නම්කිරීමට හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා අවසර දුන්නා. ඒ ගැන දැන් ඉන්න ඇමතිවරයා දන්නවාද කියා මා නම් දන්නේ නෑ” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.