Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා මුල් පෙළ කඩා වැටෙයි

ශ්‍රී ලංකා මුල් පෙළ කඩා වැටෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (25 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 99 කට කඩුලු 5 ක් දැවී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 5 ක් අතැතිව කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 105 ක් පසුපසින් සිටින අතර දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 3 ක් සමග ලකුණු 13 ක්ද, රොෂේන් සිල්වා ලකුණු 3 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොදෙව් ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ කේමර් රෝච් සමත් විය. කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට කුසල් පෙරේරා ලකුණු ලබා නොසිටි අතර ලකුණු 4 ක් ලබා සිටියදී මහේල උඩවත්ත දැවී ගියේ රෝච්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවත් ගොඩනැගීමට ධනුෂ්ක ගුණතිලක (29) සහ කුසල් මෙන්ඩිස් (22) සමත් වුවද, ශැනොන් ග්‍රේබියෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදී කුසල් මෙන්ඩිස් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. එතැන් සිට ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 6 ක් එක්වෙද්දී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් ධනුෂ්ක ගුණතිලකගේ ඉනිම නිමා කිරීමට නායක ජේසන් හෝල්ඩර් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වාටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුණ අතර ශැනොන් ග්‍රේබියෙල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට ඔහු ලබා සිටියේ ලකුණු 8 ක් පමණි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට ළහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ළහිරු ලකුණු 58 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කොදෙව් ඉනිම සුනුවිසුණු කර දැමීමට පුරෝගාමී විය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කසුන් රාජිත කඩුලු 3 ක්ද, නායක සුරංග ලක්මාල් කඩුලු 2 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.  

පළමු දිනය වූ පෙරේදා (24) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි කොදෙව් කණ්ඩායමට ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 73 ක් පමණි. එහිදී ෂේන් ඩෙව්රිච් (71) සහ නායක ජේසන් හෝල්ඩර් (74) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

ලකුණු 53 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ කොදෙව් කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් ඩෙව්රිච් සහ හෝල්ඩර් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් වූහ. ඩෙව්රිච් අර්ධ ශතකය හතරේ පහර 9 කින්ද, හෝල්ඩර්ගේ අර්ධ ශතකය හතරේ පහර 12 කින්ද සමන්විත විය.

 


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා මුල් පෙළ කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.