Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

Nisanka Sandeepani - 2018 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශෂික දුල්ෂාන්ගේ දක්ෂ පන්දු යැවීමත්, නායක නිපුන් ධනංජයගේ සහ පසිඳු සූරියබණ්ඩාරගේ දක්ෂ පිතිහරඹයත් හමුවේ ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කර ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 45.4 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලන්කය පසුකර ගියහ. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය පන්දු 112 කදී හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 92 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

ලකුණු 88 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ පසිඳු සූරියබණ්ඩාර (52) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධනංජය සමත් විය.  පන්දු 71 කට මුහුණදුන් පසිඳු, හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර අජේ දේව්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් ඔහුට ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම ඕවර 47 ක් අවසානයේ ලකුණු 193 කට සීමා කිරීමට ශෂික දුල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුල්ෂාන්, ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක් දවාගත්තේ සිය ඕවර 10 ලකුණු 27 කට සීමා කරමිනි.

අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටි ආරම්භක පිතිකරු පවන් ෂාගේ කඩුල්ල බිඳ දැමූ දුල්ෂාන්, ඉන්දීය කණ්ඩායමේ නායක ආර්යන් ජුයාල් ලකුණු 8 කටද, අයුෂ් බදෝනි ලකුණු 36 කටද පිටියෙන් ඉවත් කළේය. ඉන්දීය ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දුල්ෂාන්ට අනගි සහායක් දුන් නිර්මාල් ප්‍රනාන්දු, නවෝද් පරණවිතාන සහ ලක්ෂිත මුණසිංහ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වූහ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පවන් ෂා රැස්කළ ලකුණු 49 ට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර අයුෂ් බදෝනිගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 27 කට මුහුණදුන් අජේ දේව් එහිදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි.

තරගයේ විශේෂ අවස්ථා 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.